Header

Sri Lanka Army

Defender of the Nation

15th September 2021 08:00:36 Hours

අරසපුරකුලම් බලඇණී පුහුණු පාසලේ පුහුණූව ලැබූ ආධුනික සෙබළුන් 478 දෙනෙකු විසිරයති

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන “ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025” ට සමගාමීව යුද්ධ හමුදාව තුළ සිදුකෙරෙමින් පවතින ආධුනිකයින් බඳවාගැනීමේ මෙහෙයුමේ තවත් එක් අදියරක් ලෙස පුනරින් ප්‍රදේශයේ ස්ථාපිත 66 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේ පුහුණුව සාර්ථකව නිමකළ ආධුනික සෙබළුන් 478 දෙනෙකු පසුගිය සෙනසුරාදා (04) දින විසිර ගියහ.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායකගේ අධීක්‍ෂණය යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම පාඨමාලාව 2021 අප්‍රේල් මස 19 දින ආරම්භ කරන ලදී.

මෙම විසිරයාමේ පෙළපාලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බලඇණි පුහුණු පාසලේ ප්‍රධාන ‍උපදේශක ලුතිතන් කර්නල් එම්.පී.ජේ. මුතුනායක සමඟින් තවත් උපදේශකයන්‍කිහිපදෙනෙකු සහභාගී වූහ.

මෙම පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර ආධුනික සෙබලා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ආධුනික සෙබල ඩබ්ලිව්.ජී.එස්. විජේසූරිය තේරීපත් විය. එමෙන්ම, හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලාට හිමි සම්මානය ගැමුණූ හේවා බලකායේ ආධුනික සෙබල ජේ.එන්.එස්.ජේ.එන්.පී. වස්කඩුවට සහ දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ආධුනික සෙබල එච්.ආර්.එස්.දසනායක විසින් හිමිකරගත්හ.

මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කළ ආධුනික සෙබළුන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බලකාය, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, සන්නද්ධ බුද්ධි බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ ශ්‍රී ලංකා රයිෆල් බලකාය යන රෙජිමේන්තුවලට ඇතුලත් කරන ලදී.