Header

Sri Lanka Army

Defender of the Nation

15th September 2021 16:30:11 Hours

යුද්ධ හමුදා දිනය වෙනුවෙන් මඩු ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් දෙකක් වෙනුවෙන් නව නිවාස දෙකක් ඉදිකිරීමට මුල්ගල් තබයි

යුද්ධ හමුදා ප්‍රජා ව්‍යාපෘතීන්ට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකය යටතේ පිහිටි 653 වන බලසේනාවේ සහ 24 වන ගජබා රෙජිමේන්තු භටපිරිස් රාජ්‍ය අනුග්‍රහය ඇතිව මඩු ප්‍රදේශයේ සින්නපණ්ඩිවිරිච්චන් ගම්මානයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් දෙකක් වෙනුවෙන් නව නිවාස දෙකක් ඉදිකිරීමට මුල්ගල් තැබූහ.

653 වන බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා වෙත මෙම පවුල් දෙක පිළිබඳ විස්තර දැනුම්දීමෙන් අනතුරුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරිගේ මඟපෙන්වීම මත නව නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධතාවයෙන් ලබාගත් අතර, භටපිරිස් විසින් නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.

ඒ අනුව, පළමු නිවසේ ඉදිකිරීම් කටයුතු 2021 ජූලි මස 28 දින පැවති උත්සවයකදී ආරම්භ කරනු ලැබු අතර, එහි ඉදිකිරීම් කටයුතු වලින් 80% කට ආසන්න ප්‍රමාණයක් 2021 සැප්තැම්බර් 11 දින වන විට අවසන් කර ඇත. දෙවන නිවසේ ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් මස 08 දින ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ආරම්භ කරන ලදී. මෙම නිවාස ව්‍යාපෘතීන්වල ප්‍රගතිය නිරීක්‍ෂණය කිරීම සඳහා 653 වන බලසේනාවේ බලසේනාධිපති සහ 24 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි 2021 සැප්තැම්බර් මස 11 දින එහි සංචාරයක නිරත විය.

මෙම නිවාසවල ඉදිකිරීම් කටයුතු 65 වන සේනාංකයේ, 653 වන බලසේනාවේ සහ 24 වන ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් සහ භටපිරිස්වල සම්බන්ධීකරනයෙන් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව සිදුකරනු ලබයි. මෙම නව නිවාස 2021 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී තිබෙන 72 වන යුද්ධ හමුදා සංවත්සර දින, ප්‍රතිලාභීන් වෙත පරිත්‍යාග කිරීමට නියමිතව ඇත.