Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2021 10:02:53 Hours

විධායක ජෙනරල් සහ සේනාංකාධිපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් පල්ලේකැලේ යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරීම්වල ප්‍රගතිය නිරීක්‍ෂණය කරයි

යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ සහ 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා (2) දින මහනුවර දිස්ත්‍රික්කයේ භටපිරිස් සඳහා ඉදිවෙන් ප්‍රථම යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරිම්වල ප්‍රගතිය නිරීක්‍ෂණය කිරිම සඳහා එහි සංචාරයක නිරත වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි 11 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයට යාබදව ඉදිකෙරෙමින් පවතින නවීන පහසුකම්වලින් සමන්විත යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරිම් කටයුතු ඉංජිනේරු භටපිරිස් විසින් මේ වනවිට සිදුකරනු ලබන අතර එහි ඉදිකිරිම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයා බැලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදා රෝහලේ අවසන් අධියරයේ පසුවන ඉදිකිරිම් කටයුතුවල නිරතව සිටින ඉංජිනේරු භටපිරිස් සමඟද ඉදිකිරිම් පිළිබඳ කරුණු විමසමින් සුහද පිළිසඳරක නිරත වූහ.

දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයකින් සමන්විත මෙම රෝහල ඇඳන් 123 ක ධාරිතාවයකින් සමන්විත අතර යුද්ධ හමුදාවේ සේවය කරන නිලධාරීන් හා සෙසුනිලයින් සහ විශ්‍රාමික නිලධාරීන් හා සෙසුනිලයින්ට නේවාසිකව ප්‍රතිකාර සිදුකිරීම සඳහා වාට්ටු 4 කින් යුක්තය. මෙම රෝහල නවීන තාක්‍ෂණික පහසුකම් සහ නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විතය. මෙම රෝහල් සංකීර්ණය විශේෂඥ වෛද්‍ය කාමර, එක්ස්-රේ කිරණ ඒකකයක්, ඊසීජී ඒකකයක්, රසායනාගාරයක්, Ultra Sound ස්කෑන් ඒකකයක්, ඔසුහලක්, දැඩිසත්කාර ඒකකයක්, දන්ත ශල්‍යාගාරයක්, හෙද විවේක කාමරයක්, කාන්තා ඒකකයක් සහ ප්‍රභූ ප්‍රතිකාර ඒකකයක් ආදී අංශවලින් සමන්විතය.

අනෙක් ගොඩනැගිලි තුල බාහිර රෝගී අංශයක්, විදුලි සැපයුම් අංශයක්, ශල්‍යාගාරයක්, රෙදි සේදීමේ ස්ථානයක්, භෞත චිකිත්සක ඒකකයක්, පරිපාලන සංකීර්ණයක් සහ වෛද්‍ය නිලධාරීන්ගේ නවාතැන් ඇතුළු තවත් අංශ කිහිපයක් ස්ථාපිත කෙරේ.