Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2021 20:00:26 Hours

ඉංජිනේරු සේවා බලකායේ නික්මයන කර්නල් සේනාවිධායකට ගෞරවාචාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ ඉංජිනේරු සේවා බලකාය වෙනුවෙන් මහත් සේවයක් ඉටුකරමින් වසර 34 ක යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩ සිය ධූරයෙන් නික්මයාමේ උත්සවය ඉකුත් සිකුරාදා (10) දින පනාගොඩ පිහිටි ඉංජිනේරු සේවා බලකා මුලස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි නික්මයන කර්නල් සේනාවිධායක, ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.එන් කිතුල්ගොඩ විසින් පිළිගැනිමෙන් අනතුරුව මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩ වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. හෙතෙම ඉන් අනතුරුව එම බලකායේ රණවිරු ස්මාරකය අභියසදී දේශය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වමින් හමුදා සම්ප්‍රදායානූකූල ආචාර පුද කළේය.

ඉන් අනතුරුව, පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව නික්මයන කර්නල් සේනාවිධායක වෙත සරඹ භූමියේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පිරිනැමූහ. ඉන් අනතුරුව, නිලධාරි නිවස්නයේදී එම බලකායේ නිලධාරින් ඇමතු එතුමන් ඉංජිනේරු සේවා බලකායේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනි සිටියහ.

පසුව, සියලුනිල තේපැන් සංග්‍රහයට සහභාගී වූ මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩ නිලධාරින් සහ සෙසුනිලයින් සමග සුහඳ අදහස් හුවමාරුවක නිරතවූහ. ඉන් අනතුරුව, ඉංජිනේරු සේවා බලකායේ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේදී ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් අමතන ලදී.

ඉංජිනේරු සේවා බලකායෙන් නික්මයන මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩ එම බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ ‘ජය ශ්‍රී’ හඬ මධ්‍යයේ කඳවුරෙන් නික්ම ගියහ.