Header

Sri Lanka Army

Defender of the Nation

12th September 2021 18:00:02 Hours

ඉංජිනේරු සේවා බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ශාන්ත කුමාර රාජකාරි අරඹයි

ඉංජිනේරු සේවා බලකායේ 13 වන කර්නල් සේනාවිධායක ලෙස ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත කුමාර පසුගිය සෙනසුරාදා (11) දින පනාගොඩ පිහිටි එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි කටයුතු භාරගත්තේය.

ඉංජිනේරු සේවා බලකා මූලස්ථානය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායකතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ. ඉන් අනතුරුව, ඉංජිනේරු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.එන් කිතුල්ගොඩ විසින් උණුසුම් අයුරින් එතුමන් පිළිගන්නා ලදී. හෙතෙම ඉන් අනතුරුව එම බලකා රණවිරු ස්මාරකය අභියසදී යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දක්වමින් ආචාර කළේය.

පසුව, බ්‍රිගේඩියර් ශාන්ත කුමාර ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේදී නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.

ඉන් අනතුරුව, නව කර්නල් සේනාවිධායකතුමන් මෙම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, එතුමන් ඉංජිනේරු සේවා බලකායේ නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට එක්විය.

පසුව, සියළු නිල තේපැන් සංග්‍රහයකට එක්වූ නව කර්නල් සේනාවිධායක එම අවස්ථාවට එක්ව සිටි නිලධාරින් සහ සෙසුනිලයින් සමග සුහඳ අදහස් හුවමාරුවක නිරත වූහ.

මෙම අවස්ථාව සඳහා පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඉංජිනේරු සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.