Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2021 23:07:16 Hours

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවේ

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටීරි (Yury Materiy) සහ ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ඇලෙක්සි ඒ. බොන්ඩරෙව් (Aleksey A. Bondarev) ඉකුත් සිකුරාදා (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමු වූහ.

මෙම සුහඳ හමුවේදී රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාවයන් සිහිපත් කළ තානාපතිතතුමන් සහ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අන්‍යෝන්‍ය සුහදත්වය හා අවබෝධය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳවද කරුණු සාකච්ඡා කළේය. තවද ගෝලීය මට්ටමින් පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබද විශේෂ අවධානයක් යොමුකරමින් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එන්නත්කරණ වැඩසටහන් පිළිබදව සාකච්ඡා කරමින් දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ පුහුණු මොඩියුල පිළිබදවද සාකාච්ඡා කළේය.

ඉන් අනතුරු ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශකවරයා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හදුන්වාදුන් තානාපතිවරයා සඳහන් කර සිටියේ රුසියාව සැමවිටම ශ්‍රී ලංකාව සමඟ අන්‍යෝන්‍ය සුහඳතාවයෙන් කටයුතු කරන බවත් අනාගතයේදීත් හැකි සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාවට සහය දැක්වීමට කටයුතු කරන බවයි.

මෙම හමුව අවසානයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රුසියාව ලබා දෙන නිරන්තර සහයෝගය ඇතුළු නොයෙකුත් ආකාරයෙන් මෙරටට ලබා දෙන අඛණ්ඩ සහයෝගය සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා රුසියානු නියෝජිතයින්ට සිය ස්තූති පුද කළේය.

සුහඳ හමුව අවසානයේ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශකවරයා, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සමරු තිළිණයක්ද පිළිගැන්වීය.