Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2021 15:10:26 Hours

දින 4 කට පසු නුවරඑළියේ අතුරුදන් වූ කාන්තාව සොයා යුද හමුදා භට පිරිස් මෙහෙය වූ ඒකාබද්ධ මෙහෙයුම.

නුවරඑළිය, ඩන්සිනන් වතුයායේ දර එකතු කරමින් සිටියදී පසුගිය ඉරිදා (5) දින පස්වරුවේ සිට අතුරුදන් වූ ජේ. බලන් කත්මුණ තරණි නැමති 25 හැවිරිදි තරුණිය සොයා මෙහෙයුමක් දියත් කරන ලදී. 3 වන ශ්‍රී සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයන් 22 දෙදෙනකුගෙන් සමන්විත භටපිරිසක්, පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇතුලු වතු කම්කරුවන් විසින් දියත්කළ දීර්ඝ ක්‍රියාන්විතයකින් පසු ඉකුත් බ්‍රහස්පතින්දා (9) දින පස්වරු 6.30 පමණ ඇය සොයාගැනීමට එම පිරිසට හැකියාව ලැබිණි. තරුණිය සොයාගත් විගස ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහල වෙත ඇතුලත් කරන ලදී.

ශාන්තිපුර, බඹරකැලේ, අළුත්කොලනිය, අංක 535 කේ යන ලිපිනයේ පදිංචි කාන්තාව සිය මව සමඟ දර එකතු කිරීම සඳහා වතුයාය වෙත ගොස් ඇති අතර, හිරු බැසයාමත් සමග මොහොතකට පසු මවට ඇගේ දියණිය සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇය සොයාගැනීම සඳහා මව සහය බලාපොරොත්තු විය. ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ඝන කැලෑව නොතකා සෝදිසි මෙහෙයුම් දියත් කළ එම මෙහෙයුම් කණ්ඩායම් අතුරුදහන් වූ තරුණිය සොයාගන්නා අවස්ථාව වන විටත් සිහිසුන්ව බිම වැතිර සිටියහ.

තොරතුරු ලද විගස ක්‍රියාත්මක වූ භටපිරිස් සහ ප්‍රදේශ වාසීන් ඒකාබද්ධව දියත්කළ විශේෂ සෝදිසි මෙහෙයුම නොකඩවා දින 4ක් පුරා ක්‍රියාත්මක කළ අතර ඒ පිළිබද වැඩිදුර විමර්ශණ නුවරඑළිය පොලිසිය මගින් සිදුකරනු ලබයි. මෙම මෙහෙයුම ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, 11 වන සේනාංකාධිපති සහ 112 වන බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් දියත් කරන ලදී.