Header

Sri Lanka Army

Defender of the Nation

08th September 2021 15:20:28 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේදී නික්මයන සේනාවිධායකතුමන්ට ගෞරවාචාරය පිරිනමයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, සිය ධූරයෙන් නික්මයාම වෙනුවෙන් කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේදී ඉකුත් අඟහරුවාදා (7) දින හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානය වෙත සපැමිණි නික්මයන සේනාවිධායකතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදි භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. ඉන් අනතුරුව, නික්මයන සේනාවිධායකතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ පුහුණු පරික්‍ෂක බ්‍රිගේඩියර් නිහාල් සමරවික්‍රම විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව භටපිරිස් ඇමතු නික්මයන සේනාවිධායකතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා තින්‍ය බලසේනාවට දායකත්වය දක්වන තවත් එක් සුවිශේෂි අයතනයක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සාමාජිකයින් වෘත්තීය සහ ආරක්‍ෂක රාජකාරීන් අඛණ්ඩව මැනවින් ඉටුකරනු ලබන බව සිහිපත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ අනාගත අභිවෘර්ධිය වෙනුවෙන් කැපවීමේ වැදගත්කම පිළිබදවද පැහැදිලි කළේය.

තවද, නික්මයන සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ විසින් රාජකාරී කාල සීමාව තුළ රාජකාරී මැනවින් ඉටුකිරීම සඳහා දැක්වූ සහයෝගය වෙනුවෙන් නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් වෙත කෘතඥතාවය පළ කළේය. පසුව මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ රණවිරු ස්මාරකය අභියසදී දේශය වෙනුවෙන් දිවිපිදු වීරෝධාර දරණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපාහරද පුද කළේය.

පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ විසින් නික්මයන සේනාවිධායක වෙත සමරු තිළිණයක් පිරිනමමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්වීම වෙනුවෙන් සුභපැතුම් එක් කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගගී වූහ.