Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2021 12:00:10 Hours

පරන්තන් පිහිටි 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ආධුනික සෙබලුන් 213 දෙනෙකු විසිරයති

57 වන සේනාංකය යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පාඨමාලා අංක 1 යටතේ පුහුණුව හැදෑරු ආධුනික සෙබළුන් 213 දෙනෙකුගේ විසිර යාමේ පෙළපාලිය සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පසුගිය බාදාදා (1) දින එම පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී. 57 වන සේනාංකයේ සහ 573 වන බලසේනාවේ අධීක්‍ෂණය යටතේ පුරා මාස 4 කට අධික කාලයක් මෙම පුහුණු පාඨමාලාව පවත්වන ලදී.

පුහුණුව ලැබු ආධුනික සෙබලුන් කමාන්ඩෝ රෙජිමේන්තුව (CR), විශේෂ බලකාය (SF), ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය (SLCMP), ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය (SLASC), ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය (SLAMC) සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව (SLEME) වෙත අනුයුක්ත කිරීමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එල්.ජී ඈපා සහභාගී වූ අතර, එහිදි එතුමන් විසින් පාඨමාලාවේ අවසන් දේශණය සිදුකරමින් සෙබලෙකු තුළ තිබිය යුතු ගුණාංග සහ විනය ඉහළ මට්ටමකින් පවත්වාගනිමින් තමන් වෙත පැවරෙන රාජකාරීන් නිසි අයුරින් ඉටුකිරිමේ වැදගත්කම පිළිබද භටපිරිස් දැනුවත් කළේය.

පාඨමාලාවේ දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ආධුනික සෙබල ජේ.පී.එන්.සී සමරසූරිය විසින් හිමිකරගත් අතර පාඨමාලාවේ හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සිසුවාට හිමි සම්මානය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ආධුනික සෙබල යූ.එස් කුමාර විසින් හිමිකරගත්හ. තවද පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ආධුනික සෙබල එච්.පී.කේ.ජී.එස් උමයන්ග විසින් හිමිකරගත්හ. එම සම්මාන, ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් මෙහිදි පිරිනැමීය.

පවතින සෞඛ්‍යාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් මෙම විසිර යාමේ පෙළපාලිය සඳහා ආධුනික සෙබළුන්ගේ ඥාතීන්ට සහ මිතුරන් වෙත ආරාධනා නොකරන ලදී.