Header

Sri Lanka Army

Defender of the Nation

08th September 2021 09:06:29 Hours

පැරාලිම්පික් පදක්කම්ලාභීන් රතු පලස් මතින් දිවයිනට

ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියේදී රන් පදක්කමක් දිනාගත් ගජබා රෙජිමේන්තුවේ බළලත් නිලධාරි 1 දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු ඇතුලු ක්‍රීඩකයින් කණ්ඩායම ඉකුත් අඟහරුවාදා (7) දින සනධ්‍යාවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණි අතර, මැති ඇමතිවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ උණුසුම් සුභපැතුම් මධ්‍යයේ රතු පලස් මතින් පිළිගනු ලැබීය.

ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියේදී හෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගනිමින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකු බවට පත් වූ බළලත් නිලධාරි 1 දිනේෂ් ප්‍රියන්ත හේරත් මුළුමහත් ලෝකයේම ගෞරවාදරයට පාත්‍ර විය. පදක්කම්ලාභීන් පිළිගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නියෝජනය කරමින් පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක් වූහ.

2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් සහභාගී වූ 9 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරු යුද්ධ හමුදා හෙල්ල විසිකිරිමේ ක්‍රීඩක බළලත් නිලධාරි 1 දිනේෂ් ප්‍රියන්ත හේරත් වර්ෂ 2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමටද සමත් වූහ.

ගජබා රෙජිමේන්තුවේ රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත (හෙල්ල විසිකිරීම), ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් සම්පත් බණ්ඩාර (දුනුවීදීම), විජයබාහු පාබල රෙජිමේන්තුවේ සැරයන් සම්පත් හෙට්ටිආරච්චි (හෙල්ල විසිකිරිම), ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ කෝප්‍රල් පාලිත බණ්ඩාර (යගුලිය විසිකිරීම), විශේෂ බලකායේ මාණ්ඩලික සැරයන් මහේෂ් ජයකොඩි (ඔරුපැදීම), ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සැරයන් රංජන් ධර්මසේන (හෙල්ල විසිකිරිම) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් සමිත දුලාන් (හෙල්ල විසිකිරිම) පැරාලිම්පික් තරඟාවලිය සඳහා ජපානය බලා පිටත්වයාමට පෙර ඔවුන්ගේ පුහුණුකරුවන්, කළමනාකරිත්වය සහ පරිපාලන නිලධාරින් සමඟ යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවි ඉදිරි උපදෙස් හා ආශිර්වාද ලබාගත්හ.

මෙවර ටෝකියෝ පැරාලිම්පික් තරගාවලිය තරඟ ඉසව් 22 ක් යටතේ පැවැත්වෙන අතර එහිදී පදක්කම් 539 ක් දිනාගැනීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400 ක් තරඟවැදීණි. ටෝකියෝ හිදී පැවැති මෙවර පැරාලිම්පික් තරඟාවලිය සඳහා මළල ක්‍රීඩකයින් 6 දෙනෙකු සහ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු සෘජු සුදුසුකම් ලබාගත් අතර කුමුදු ප්‍රියංකා ක්‍රීඩිකාව (Universality place) මට්ටමින් සුදුසුකම් ලබාගත්හ.

වර්ෂ 1996 ඇට්ලන්ටාහිදී පැවති පැරාලිම්පික් තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වු ක්‍රීඩකයින් ජයග්‍රහණයක් ලබා ඇති අතර වර්ෂ 2012 ලන්ඩනයේ පැවති පැරාලිම්පික් තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟවැදුණු ප්‍රදීප් සංජය ලෝකඩ පදක්කමක් සහ වර්ෂ 2016 රියෝහිදී පැවති පැරාලිම්පික් තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වු සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝකඩ පදක්කම්ක් දිනා ගත්හ.