Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2021 18:21:40 Hours

විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ට දැකුම්කළු බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පරිපාලනය, කළමනාකරණය සහ විනයගරුක සෙබළුන් බිහිකිරීමේ වගකීම පැවරී ඇති සන්නද්ධ හමුදාවේ කොඳු නාරටිය ලෙස සැලකෙන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් මතය. ඔවුන් අතරින් විශේෂ බලකායේ බළලත් නිලධාරීන් හා සැරයන්වරුන් වෙත විශේෂ බලකා රෙජිමේන්තු අධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සියලු පහසුකම්වලින් සමන්විත මනා නිමාවකින් යුතු බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නයක් ඉදිකරන ලදී.

ආචාර ධර්ම, නිල ඇඳුම් රෙගුලාසි සහ භෝජනාගාර ක්‍රමවේදයන් පිළිබඳ සියලු නිලයින්ට ආදර්ශයක් එක්කරමින් විශේෂ බලකා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ට අලංකාරවත් වටපිටාවක් තුල සියලු පහසුකම්වලින් සමන්විත නව බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය ඉදිකිරීම් කටයුතු වසර දෙකකට පමණ පෙරාතුව ආරම්භ කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨතම නිලධාරින් වන මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහ මේජර් ජෙනරල් සෙනරත් යාපා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවති රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේදී විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට උපදෙස් ලබාදුන්හ.

ගෘහ නිර්මාන ශීල්පය පිළිබඳ වැඩි අවදානයක් යොමුකරමින් සියලුදෙනාගේ සිත් ඇඳගන්නා අන්දමින් ඉදිකරනු ලැබු මෙම බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය සියලු පහසුකම්වලින් සමන්විත වේ. මීට මාස කිහිපයකට ප්‍රථම, යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාවේ නව බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය ඉදිකිරිම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ‘අනෙක් අය ද අගය කරන හා අනුගමනය කරන ඵලදායී සේවයක් ඉටු කරන්න’ යැයි සියලුදෙනා දිරීමත් කරමින් පැවසීය.

බොහෝදෙනාගේ ප්‍රශංසාවට පාත්‍ර වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශිෂ්ඨ රෙජිමේන්තුවක් ලෙස සැලකෙන විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකල බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ ප්‍රධාන ශාලාව තුල විශේෂ බලකායේ හිටපු රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ට සුවිශේෂි ගෞරවයක් දක්වමින් ඡායාරූප එකතුවක් ද එළිදක්වා ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් සහ විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම ගේ උපදෙස් මත විශේෂ බලකායේ භටපිරිස් ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්වල සහයෝගය ඇතිව මෙම බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 300 කට පමණ පහසුකම් සැපයීය හැකි විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අභිනවයෙන් ඉදිකරන ලද සියලු පහසුකම්වලින් සමන්විත බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය ඉකුත් ඉරිදා (05) දින යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි.

විශේෂ බලකා සෙබළුන් කරන ලද සුවිශේෂි කැපකිරීමට කෘතඥතාවය පළ කරමින් ඔවුන්ගේ සුභසාධන පහසුකම් නංවාලිම සඳහා සියලු පහසුකම්වලින් සමන්විත මෙම දැකුම්කළු බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන යුද්ධ හමුදා අරමුදල වෙතින් විශේෂ බලකාය වෙත ලබාදුන්හ.