Header

Sri Lanka Army

Defender of the Nation

02nd September 2021 07:45:20 Hours

යාපනය අර්ධද්වීපයේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සේවය අගය කරමින් මුල්‍යමය පරිත්‍යාගයක්

යාපනය ආර්ධද්වීපයේ කොවිඩ්-19 වෛරසය ආසාධිත රෝගින්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා ජිවිත අවදානම් සහිත කාලසීමාවක සෞඛ්‍ය අංශයේ නිලධාරින් විසින් සිදුකරනු ලබන මහඟු සේවය අගය කිරීමේ උත්සවයක් ඉකුත් අඟහරුවාදා (31) දින ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 512 වන බලසේනා මුලස්ථානයේදී සංවිධානය කරන ලදී.

එම උත්සවය අතරතුරදී, ත්‍යාහි අසරණසරණ පුණ්‍යායතනයේ නිර්මාතෘ සහ එහි සභාපති වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතාගේ මුල්‍යමය දායකත්වයෙන් යාපනය ආර්ධද්වීපයේ සෞඛ්‍ය නිලධාරින්ට අත්‍යාවශය ද්‍රව්‍ය මිලදීගැනීම සඳහා වවුචර් පත් ප්‍රදානය කරන ලදී.

මෙම වැඩසටහන යටතේ යාපනය අර්ධද්වීපයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් 84 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 5000.00 ක් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 276 ක් සඳහා එක් අයෙකුට රුපියල් 3000.00 ක වටිනාකමින් යුත් ආහාර මිලදීගැනීම සඳහා වවුචර් පත් බෙදාදෙනු ලබයි.

ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම උත්සවය අතරතුරදී, සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් 16 දෙනෙකුට හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් 14 දෙනෙකුට වවුචර්පත් සංකේතාත්මකව පිරිනැමුවේය. මෙම වවුචර් පත් මගින් ඔවුන්ට ‘කාගිල්ස් ෆුඩ් සිටි’ වෙතින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකියාව පවතී.

මෙම ව්‍යාපෘතියට සමගාමීව, යාපනය ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් සඳහා යුද්ධ හමුදා භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් වියලි සලාක පාර්සල් 1000 ක් බෙදාදෙන ලදී. මෙලෙස වියලි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහන සංකේතවත් කරමින් මෙම උත්සවය අතරතුරදී, පවුල් දෙකක සාමාජිකයින්ට ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ සුරතින් වියලි සලාක පාර්සල් බෙදාදුන්හ.

මෙම ව්‍යාපෘතින් සාර්ථක කරගැනීම සඳහා ත්‍යාහි අසරණසරණ පුණ්‍යායතනයේ නිර්මාතෘ සහ එහි සභාපති වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතා රුපියල් මිලියන 2.2 ක පමණ මුල්‍යමය දායකත්වයක් ලබාදී ඇත.

මෙම උත්සවය අතරතුරදි සියලුදෙනා ඇමතූ මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු, සෞඛ්‍ය සේවකයින්ගේ සේවය අගය කළ අතර මෙම අභියෝගාත්මක කාලසීමාවේ කැපවීමෙන් සේවය කිරීම පිළිබඳව පැමිණ සිටි සියලුම මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ට සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට සිය ස්තූතිය පුද කළේය.

තවද, යාපනය ආර්ධද්වීපයේ මහජනතාවගේ සුභසාධන කටයුතු සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් කැපවීමෙන් යුතුව කටයුතු කරන බවත් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු මෙහිදි පැවසීය.