Header

Sri Lanka Army

Defender of the Nation

04th September 2021 11:07:15 Hours

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් සුදත් උදයසේන ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදු කෙරේ

කොවිඩ්-19 වෛරසය සහ ඩෙංගු වෛරසය ආසාධිතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධන ශාඛාවේ බ්‍රිගේඩියර් (ලේඛණ හා සැලසුම්) බ්‍රිගේඩියර් එස්.ඩි. උදයසේන ආර්එස්පී බ්‍රහස්පතින්දා (02) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. දේහය පිළිබඳ අවසන් කටයුතු සිකුරාදා (03) දින උදෑසන 11.30 ට යුද්ධ හමුදා ගෞරවචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කෙරුණි.

පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් යුද්ධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ, ආරක්‍ෂක සේනා ආඥාපති-යාපනය හා ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් මෙන්ම පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

1990 සැප්තැම්බර් මස 7 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ආනන්දීයකු වන බ්‍රිගේඩියර් සුදත් උදයසේන අධ්‍යාපනික සහ ක්‍රීඩා කටයුතුවලදී දස්කම් දක්වමින් මලල ක්‍රීඩා සහ ක්‍රීඩා යන දෙඅංශයෙන්ම සිය විද්‍යාලය නියෝජනය කළේය. සිය පාසල් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු බ්‍රිගේඩියර් සුදත් උදයසේන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී පකිස්තාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක -1යටතේ පකිස්තානු හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව නිම කළේය. වර්ෂ 1991 මාර්තු 13 දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් වු එතුමන් පසුව 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්ත කරන ලදී.

බ්‍රිගේඩියර් සුදත් උදයසේන සතුව තිබු අද්විතිය කැපකිරීම සහ දක්‍ෂතාවයන් මෙන්ම නිර්මාණාත්මක කුසලතාවයන් හේතුවෙන් හෙතෙම විශේෂයෙන් කැපිපෙනෙන නිලධාරියෙකු බවට පත්විය. වර්ෂ1990 දී යුද්ධ හමුදාවට එක්වු එතුමන්වර්ෂ 1994 සැප්තැම්බර් මස 12 දින ලුතිනන් නිලයටත්, වර්ෂ 1997 මාර්තු මස 07 වෙනි දින කපිතන් නිලයටත්, වර්ෂ 2002 ජූනි මස 01 දින මේජර් නිලයටත්, වර්ෂ 2009 නොවැම්බර් මස 10 වන දින ලුතිනන් කර්නල් නිලයටත්, වර්ෂ 2016 සැප්තැම්බර් මස 07වන දින කර්නල් නිලයට සහ වර්ෂ 2020 ජුනි මස 07 වන දින බ්‍රිගේඩියර් නිලයටත් උසස් කරන ලදී.

බ්‍රිගේඩියර් සුදත් උදයසේන, සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී තමාට පැවරුණු රාජකාරි හා වගකීම් නොපිරිහෙලා ඉටුකරමින් කැපවීමෙන් යුතුව යුද්ධ හමුදාවේ විවිධ තනතුරු වල සිය සේවය ඉටු කළේය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් සුදත් උදයසේන ගේ විශේෂ නියෝග පලවන කොටස (Special Part I Order)නිකුත් කරමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ යුද්ධ හමුදා දිවිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරින් සහ සෙසුනිලයින්ට ආදර්ශමත් හා දිරිගැන්වීමක් වූ බව ප්‍රකාශ කර සිටියේය.