Header

Sri Lanka Army

Defender of the Nation

02nd September 2021 06:32:39 Hours

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥයින්ගෙන් හෘද ස්පන්දන ඔක්සිජන් මාපක (Oximeters) පරිත්‍යාගයක්

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා නිවෙස් පදනම් කරගත් ඒකාබද්ධ රෝගී කළමනාකරණ පද්ධතිය මෙහෙයවමින් එහි මූලිකත්වය ගෙන කටයුතු කරන විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉකුත් බදාදා (01) දින කොවිඩ්-19 වෛරසය ආසාදිතව පීඩාවට පත්වන පුද්ගලයින්ගේ පරිහරණය සඳහා බෙදාදීමට හෘද ස්පන්දන වේගය පරික්‍ෂා කරන ඔක්සිජන් මාපක (oximeters) 250 ක් ද පරිත්‍යාග කෙරිණි.

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඉකුත් බදාදා (01) දින පැවති සාකච්ඡාව අවසානයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය හෘද ස්පන්දන වේගය පරික්‍ෂා කරන ඔක්සිජන් මාපක (oximeters) සංකේතාත්මකව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉදිරියේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත භාර දුන්නේය.

රුපියල් මිලියනයක පමණ වටිනාකමකින් යුත් මෙම ඔක්සිජන් මාපක (oximeters) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ‘කොවිඩ් සහන’ සුභසාධන ශාඛාව වෙතින් කොවිඩ්-19 වෛරසය ආසාදිතව පීඩාවට පත්වන පුද්ගලයින්ගේ පරිහරණය සඳහා බෙදාදීමට පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිවරුන් දෙදෙනෙකු වන වෛද්‍ය ඉන්දික කරුණාතිලක සහ වෛද්‍ය රුවයිස් හනිෆා සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය මනිල්කා සුමනතිලක යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින්ට නිවෙස්ගතව ප්‍රතිකාර සිදුකිරීම සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගැනීමට දුරකථන අංක 1904 සහ 247 ඔස්සේ වෛද්‍ය උපදේශන ජාලයක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ස්ථාපිත කිරීම තුළින් ඵලදායී සේවාවක් ලබාගැනීමට හැකි වුවත් කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් දුරකථනය ඔස්සේ සම්බන්ධ වූවිට රෝගී තත්ත්වයන් කළමනාකරණය කිරීමේදී අඩු ආදායම්ලාභීන්ගේ පවුල්වල පරිහරණය සඳහා ඔක්සිජන් මාපක (oximeters) නොමැතිවීම හේතුවෙන් ඔවුන් මහත් අපහසුතාවයකට පත්ව ඇත.

නිවෙස් පදනම් කරගත් කළමනාකරණ පද්ධතියක් යටතේ ආසාදිත පවුල්වල සාමාජිකයින්ගේ හෘද ස්පන්දන වේගය තුළින් ශරිරයේ ඔක්සිජන් මට්ටම නිරීක්‍ෂණය කිරීමට උපකාර වන ඔක්සිජන් මාපක (oximeters) මෙලෙස පරිත්‍යාග කිරීම වෙනුවෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සාමාජිකයින්ට සිය කෘතඥතාවය පුද කළේය.