30th August 2021 11:00:35 Hours
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු පැරාලිම්පික් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්විය. ඔහු ටෝකියෝ හි පැවති 2020 පැරාලිම්පික් තරගාවලියේ F 46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයෙන් මීටර් 67.79 ක දක්‍ෂතාවයක් පෙන්නුම් කරමින් නව ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම දිනාගනු ලැබීය. මෙම ජයග්‍රහණය නිමිත්තෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සිය පළමු සුබපැතුම් ඔහු වෙත එක් කළේය. කීර්තිමත් ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් බිහිවූ යුධ විරුවන් අතරට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමගින් සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ද එක්වීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉමහත් භාග්‍යකි.
මෙම තරගාවලිය සඳහා ටෝකියෝ අගනුවර වෙත යාමට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවූ අවස්ථාවේදී ඔහු විසින් රටට මෙලෙස කීර්තියක් අත්පත් කරදෙන බවට යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සහතික වී තිබිණි. එම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලාංකික පැරාලිම්පික් ක්‍රීඩකයන්ට මෙය මහඟු අවස්ථාවක් බව සහ ඔවුන් පසුගිය වර්ෂයක් පුරාවට සිදුකල පුහුණුවීම් කටයුතු තුළින් ජයග්‍රහණයක් අත්පත් කරගත හැකි බව පවසමින් ඔවුන් දිරිමත් කර තිබුණි.
2004 වර්ෂයේ මාර්තු 18 වන දින සාමාන්‍ය සෙබළකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවට එක් වූ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් 2008 දෙසැම්බර් මස 16 වන දින කිලිනොච්චි ප්‍රදේශයේ දී රුදුරු එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ දරුණු ප්‍රහාරයකට ලක් වී ආබාධයකට ලක්විය. ත්‍රස්තවාදී ප්‍රහාරවලට ලක්වීමෙන් අනතුරුව ඔහු යුද්ධ හමුදා පැරා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට අවතීර්ණ විය. 2012 වර්ෂයේදී ඔහු විසින් යුද්ධ හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 52 ක් දුර හෙල්ල විසිකර රන් පදක්කමද, 2012 වර්ෂයේ මැලේසියාවේ පැවති පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 52.95 ක් දුර හෙල්ල විසිකර රන් පදක්කමද, 2016 වර්ෂයේදී රියෝ පැරාලිම්පික් තරඟාවලියේදී මීටර 58.23 ක් දුර හෙල්ල විසිකර ලෝකඩ පදක්කමද, 2017 වර්ෂයේදී ජර්මනියේ පවත්වන ලද පැරාලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී මීටර් 53.09 ක දුර හෙල්ල විසිකර රිදී පදක්කමක්ද, 2017 වර්ෂයේ මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පවත්වන ලද ලෝක පැරා මලල ක්‍රිඩා තරගාවලියේදී මීටර් 59.90 ක දුර හෙල්ල විසිකරමින් රිදී පදක්කමක්ද, 2018 වර්ෂයේ ආසියානු පැරා ක්‍රීඩා තරඟාවලියේදී මීටර් 61.84 දුරක් වාර්තා කර රන් පදක්කමක් සමගින් නව තරඟ වාර්තාවක් පිහිටුවීම සහ 2019 ලෝක පැරා ක්‍රීඩා තරඟාවලියේදී මීටර් 60.59 ක දුරක් හෙල්ල විසිකරමින් රිදී පදක්කමද දිනාගන්නා ලදී.