Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2021 17:05:17 Hours

‘සඳහිරු සෑයේ’ අවසන් අදියරේ ප්‍රගති සමාලෝචනයක්

ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ අභිනවයෙන් ඉදිකරමින් පවතින ‘සඳහිරු සෑයේ’ ඉදිකිරිම් කටයුතුවල අවසන් අදියරේ ප්‍රගතිය පිළිබඳ සොයාබැලිම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (29) දින උදෑසන එහි නිරික්‍ෂණ සංචාරයක නිරත වූහ.

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු යුද්ධයේදී රට වෙනුවෙන් දිවිපිදු දහස් ගණනක් ත්‍රිවිධ හමුදා විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ට උපහාරයක් ලෙසත් රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන් සහ සේවයේ නියුතු සන්නද්ධ හමුදා සාමාජිකයින්ට ආශිර්වාද එක්කිරීමටත් දිවයිනේ විශාලතම චෛත්‍යයන් අතරින් එකක් ලෙස සැලකෙන ‘සඳහිරු සෑය’ ඉදිකරමින් පවතී.

මෙම සංචාරය අතරතුරදී, ‘සඳහිරු සෑයේ’ ඉදිකිරිම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයාබැලු ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) දැනට ඉදිකරමින් පවතින බෝධිඝරය, දොලොස් මහේ පහන, ගල් කැටයම් සහ වන්දනාමාන කටයුතු සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා ඉදිවන වාහන අංගන ප්‍රදේශයේ ඉදිකිරිම් කටයුතු පිළිබඳ සාකච්ඡා කළේය. පසුව, නව බුද්ධ මන්දිරය, කෞතුකාගාරය සහ සලපතල මළුවේ ඉදිකිරිම් කටයුතු පිළිබඳව ද ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සොයාබැලීය.

‘සඳහිරු සෑයේ’ පැළඳවීමට නියමිත චූඩා මාණික්‍යය සහ කොත්වහන්සේ දිවයිනපුරා බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා වැඩමකරවීමෙන් අනතුරුව චූඩා මාණික්‍යය සහ කොත්වහන්සේ තැන්පත් කිරීම සඳහා සඳහිරු සෑයේ ඉදිකිරිම් කටයුතු කඩිනමින් අවසන් කිරීම පිළිබඳ මෙම අවස්ථාවට එක්වු ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ව්‍යාපෘතිය භාරව කටයුතු කරන නිලධාරින් එක්ව සාකච්ඡා කරන ලදී.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් පවත්වන ලද මෙම සංචාරය සඳහා හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර ද එක්ව සිටියහ.