Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2021 15:17:01 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් රෝහිත අළුවිහාරේ රාජකාරී අරඹයි

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ 37 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් රෝහිත අළුවිහාරේ ඉකුත් සිකුරාදා (20) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කළේය.

යුද්ධ හමුදා පුහුණු පාසල වෙත සපැමිණි නව සේනාවිධායක වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමිමෙන් අනතුරුව එම පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමන් කාර්යාල පරිශ්‍රය වෙත කැටුව ගියහ. ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් රෝහිත අළුවිහාරේ සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. පසුව නව සේනාවිධායක මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කිරිමෙන් අනතුරුව පුහුණු පාසලේ භටපිරිස් ඇමතූහ.

මීට පෙර මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් අනිල් සමරසිරි 65 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් රෝහිත අළුවිහාරේ මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක ධූරයට පත්විය.

මෙම අවස්ථාව සඳහා මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ අණදෙන නිලධාරි කර්නල් අනුරුද්ධ සෝලංගආරච්චි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.