Header

Sri Lanka Army

Defender of the Nation

21st August 2021 10:00:36 Hours

වන්නි භටපිරිස් තවත් අඩුආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරදෙයි

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකර දීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව මහජන බැංකුවේ බෞද්ධ සංගමයේ අනුග්‍රාහකත්වය ඇතිව ඉදිකරනු ලැබු නව නිවස ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින විවෘත කෙරිණි.

මෙම නිවස ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් ඉදිකරදෙන ලදි.

වවුනියාව, 214 ජි මුන්ඩිමුරිප්පු ග්‍රාම නිලධාරි වසමේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබු නව නිවස විවෘත කිරීමේ උත්සවයට ආරක්‍ෂක සේනා ආඥාපති -වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල සහ 562 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.එස් ප්‍රේමවංශ සහභාගි වුහ.

මහජන බැංකුවේ අනුග්‍රාහකත්වය ඇතිව ඉදිකරනු ලැබු නව නිවස විවෘත කිරීමේ උත්සවයට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස මහජන බැංකුවේ ප්‍රධාන කළමනාකරු රංජිත් කොඩිතුවක්කු මහතා සහභාගි විය. පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රාහකත්වය ඇතිව අඩු ආදායම්ලාභි පවුල් වෙත නව නිවාස ඉදිකරදීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් දියත් කරනු ලබයි.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති නව නිවස විවෘත කිරීමේ උත්සවය සඳහා මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මහින්ද ප්‍රේමනාත් මහතා, 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එච්.කේ. කුමාරසිරි ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසුනිලයින් සහ මහජන බැංකුවේ බෞද්ධ සංගමයේ සාමාජිකයින් කිහිපදෙනෙකුද සහභාගි වූහ.