Header

Sri Lanka Army

Defender of the Nation

20th August 2021 08:00:17 Hours

නුදුරේදි විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් කීර්ති කෝට්ටේවත්තගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී විශ්‍රාම ලබන ගැමුණු හේවා බලකායේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් කීර්ති කෝට්ටේවත්ත ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

එහිදී, මේජර් ජෙනරල් කීර්ති කෝට්ටේවත්ත යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය.

මෙම සුහද හමුවේදී, අතීතත මතකයන් පිළිබඳ සිහිපත් කරමින් නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් කීර්ති කෝට්ටේවත්ත සමග සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන්, මානව හිමිකම් හා මානුෂියවාදී නීති අධ්‍යක්‍ෂ ජෙනරල් ඇතුළු යුද්ධ හමුදාවේ සහ ගැමුණු හේවා බලකායේ උසස් තනතුරු රැසක් හෙබවු මේජර් ජෙනරල් කීර්ති කෝට්ටේවත්තගේ සේවය ඇගයුමට ලක් කළේය.

17 වන ගැමුණු හේවා බළඇණියේ 1 වන අණදෙන නිලධාරි ‌ලෙස අවසන් මානුෂීය මෙහෙයුමට දායකත්වය දැක්වු මේජර් ජෙනරල් කීර්ති කෝට්ටේවත්ත ත්‍රස්තවාදයට එරෙහිව දියත්කළ තවත් මානූෂීය මෙහෙයුම් රැසකට ද සක්‍රීයව දායකත්වය දක්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් කීර්ති කෝට්ටේවත්ත සිය රාජකාරී කාල සීමාව තුළ යුද්ධ හමුදාපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම පිළිබදව සිය කෘතඥතාවය මෙහිදි පුද කළේය. දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සේවය කර නුඳුරේදි විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශේෂ සමරුතිළිණයක් ද ප්‍රදානය කළේය. අත්දැකීම් බහුල සහ වෘත්තීයමය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස සෑමවිටම ලද අත්දැකීම් අන්‍යයන් සමඟ හුවමාරු කරගත් මේජර් ජෙනරාල් කීර්ති කෝට්ටේවත්ත අනාගත පරපුරේ යහපත උදෙසා කතුවරයෙකු ලෙස වටිනා ග්‍රන්ථ රැසක් රචනා කිරිමට ද දායක විය.

මේජර් ජෙනරල් කීර්ති කෝට්ටේවත්ත සිය යුද්ධ හමුදා දිවිය තුළදී මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු අංශයේ අණදෙන නිලධාරී සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නියෝජ්‍ය සේනාවිධායක යන උපදේශක තනතුරු ද හෙබවිය.

ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂිය මෙහෙයුම් කාලසීමාව තුළ අධිෂ්ඨාන සහගතව නිර්භීතව යුදබිම තුළ දස්කම් දක්වමින් රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කමින් පිදුම් ලැබු මේජර් ජෙනරල් කීර්ති කෝට්ටේවත්තගේ නිකැලැල් සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කම ද හිමිගන්වා ඇත.