Header

Sri Lanka Army

Defender of the Nation

20th August 2021 08:58:35 Hours

සිරස මාධ්‍ය ජාලයේ අනුග්‍රහකත්වය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් තිබිරිගස්වැව ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙත නිවසක් ඉදිකර දෙති

එම්.ටී.වී. හා එම්.බී.සී මාධ්‍ය ජාලයේ සුභසාධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක ‘සිරස නිවාස’ ව්‍යාපෘතිය යටතේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර යටතේ ස්ථාපිත 3 වන ඉංජිනේරු සේවා බලකාය, 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය සහ 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය සේවා බලකායේ භටපිරිස් විසින් හබරණ, තිබිරිගස්වැව පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දෙන ලදී.

මෙම නව නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා අනුග්‍රහකයින්ගේ ආරාධනය පිළිගෙන ඉකුත් සෙනසුරාදා (14) දින එම අවස්ථාවට සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය ඇතුළු ‘සිරස නිවාස’ ව්‍යාපෘතිය නියෝජනය කරමින් එම අවස්ථාවට පැමිණි එම්.ටී.වී. හා එම්.බී.සී මාධ්‍ය ජාලයේ මානව සම්බන්ධතා අධ්‍යක්‍ෂ ප්‍රියන්ත වීජේසිංහ මහතා සහ නිලධාරීන් නව නිවස විවෘත කර නිවාසලාභියා වෙත භාරදුන්හ.

‘සිරස’ නිවාස ව්‍යාපෘතියේ සංවිධායකයින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා භටපිරිස් විසින් තිබිරිගස්වැව ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන කේ.ජී බේබිනෝනා මහත්මිය වෙනුවෙන් මෙම නව නිවස ඉදිකරන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සිරස මාධ්‍ය ජාලයේ අනුග්‍රහක භවතුන් එක්ව නව නිවසේ ප්‍රධාන දොරටුවේ පීත්ත පටිය කපා සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා නිවාසලාභියා වෙත නව නිවසේ යතුර ප්‍රදානය කළේය.

නව නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඉංජිනේරු සහ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් ඉදිකරන ලද මෙම නිවසට අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය ‘සිරස’ රූපවාහිනි නාලිකාවේ සංවිධායකයින් විසින් සම්පාදනය කර තිබිණි.

මෙම උත්සව අවස්ථාවේදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මිය නිවාසලාභියා වෙත නිවස සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාග කළාය. ඉන් පසුව යුද්ධ හමුදාධිපතිතුමන් සහ එම මැතිණිය ආගමික වතාවත් සිදුකිරිමෙන් අනතුරුව එම ස්ථානයට වැඩම කර සිටි තිඹිරිගස්වැව විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පටුනුගම සුජාත හිමියන් උදෙසා අට පිරිකර සහ සෙසු පිරිකර පූජා කළේය.

ඉන් අනතුරුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් එම ස්ථානයේදී ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙනුවෙන් රුපියල් 1500/= ක් පමණ වටිනා වියලි ආහාර සලාක ඇසුරුම් 350 ක්ද බෙදාදෙන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න, සේනාංකාධිපතිවරුන්, සිරස මාධ්‍ය ජාලයේ නිලධාරීන්, ප්‍රජා නායකයින්, පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෑත කාලය තුළ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙනුවෙන් අනුග්‍රහක භවතුන්ගේ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වය ඇතිව නව නිවාස විශාල ප්‍රමාණයක් ඉදිකර දෙන ලදී.