Header

Sri Lanka Army

Defender of the Nation

19th August 2021 19:00:09 Hours

විශ්‍රාමික යුද විරුවන් වෙනුවෙන් සිප්පුකුලම් සහ මැදිරිගිරිය ප්‍රදේශවල නව නිවාස දෙකක් ඉදිකරයි

2008 වර්ෂයේදී වැලිඔය ප්‍රදේශයේ පැවති මානුෂිය මෙහෙයුමේදී රුදුරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් ආබාධයන්ට ලක්වූ විරෝදාර රණවිරුවෙකු වන අනුරාධපුර, සිප්පුකුලම් ප්‍රදේශයේ පදිංචි 2 වන විශේෂ බලකායේ මාණ්ඩලික සැරයන් ජේ.ඩබ්ලිව්.පී. දිසානායක වෙනුවෙන් ඉදිකරනු ලැබූ තෙවන නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය සහභාගී වූහ. නිවාසලාභියා වෙත නව නිවසේ යතුරු භාරදීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් නව නිවසේ සමරු ඵලකය නිරාවරණය කරමින් මාණ්ඩලික සැරයන් ජේ.ඩබ්ලිව්.පී. දිසානායකගේ දරුවන් දෙදෙනා සමඟ එක්ව නව නිවස විවෘත කරන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මිය සමඟ නිවාසලාභියා වෙත නිවස සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාග කළාය.

මෙම ව්‍යාපෘතිය විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ රෙජිමේන්තු අධිපතිගේ උපදෙස් හා මධ්‍යස්ථාන සේනාවිධායකගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලදී. ඒ අනුව, 2 වන විශේෂ බලකායේ අණදෙන නිලධාරි විසින් එම ඒකකයේ භටපිරිස්වල ශ්‍රම දායකත්වයෙන් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී. මෙම නිවස සඳහා වූ රුපියල් මිලියන 1.5 ක මූල්‍යමය ප්‍රතිපාදන රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය හා විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානය විසින් සපයන ලදී.  

මේ අතර, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ප්‍රදේශයේ වෙසෙන ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික රණවිරුවෙකු වූ කෝප්‍රල් ඩබ්ලිව්.කේ.ජී. විජිත කුමාර වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවස විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගී වූ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නිවාසලාභියාගේ පවුලේ සාමාජිකයින් සමඟ එක්ව ආගමික වතාවත් මධ්‍යයේ පැවති උත්සවයකදී සමරු ඵලකය නිරාවරණය කර නිවාසලාභියා වෙත නව නිවසේ යතුරු භාරදුන්නේය. මෙම නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ලබාදුන්හ.

මෙම නව නිවාස විවෘත කිරීමේ උත්සව අවස්ථාවන් සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, නිවාසලාභින්ගේ පවුල්වල සාමාජිකයින් සහ එම නිවෙස් ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය දැක්වූ භටපිරිස් ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.