Header

Sri Lanka Army

Defender of the Nation

20th August 2021 06:37:28 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් යුද්ධයෙන් දිවිපිදු සහ තුවාල ලබා සිටින වීරෝදාර රණවිරුවන්ගේ පවුල් සඳහා නව නිවාස

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත යුද්ධ හමුදාවේ අඛණ්ඩ සුභසාධන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරනු ලැබු මානූෂීය මෙහෙයුමේදී දේශය වෙනුවෙන් දිවිපිදු සහ තුවාල ලබාසිටින වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද පළාතේ පදිංචි වීරෝදාර රණවිරු පවුල් හතරකට නිවාස ලබාදීම ඉකුත් සෙනසුරාදා (14) දින යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම නිවාස ඉදිකිරීම සඳහා රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ වීරෝදාර රණවිරුවන් අයත් රෙජිමේන්තු මූල්‍ය අනුග්‍රහකත්වය දක්වන ලදී.

ඒ අනුව, වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් මහඉලුප්පල්ලම සමනළපුර, අනුරාධපුරයේ ඉච්චන්කුලම, අනුරාධපුරයේ සිප්පුකුලම සහ හිඟුරක්ගොඩ මැදිරිගිරියේ නවතමයෙන් ඉදිකරන ලද නිවාස හතර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සෙනසුරාදා (14) දින විවෘත කරන ලදී. තවද, එම උත්සව අවස්ථාවන් සඳහා නිවාසලාභි වීරෝදාර රණවිරුවන් අයත් රෙජිමේන්තු නියෝජනය කරමින් රෙජිමේන්තු අධිපතිවරුන් සහභාගී වූහ. මෙම උත්සව අවස්ථාවන් පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව පවත්වන ලදී.

වර්ෂ 1997 දී මන්නාරම උයිලන්කුලම් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී දිවිපිදු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කේප්‍රල් එම්.එම්.පී.කේ විජේසූරිය වීරෝදාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් මහඉලුප්පල්ලම, සමනළපුර ඉදිකරන ලද නව නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මිය නිවාසලාභි වීරෝදාර රණවිරුවාගේ දියණිය විසින් බුලත් දී පිළිගත් අතර, එම අවස්ථාවේදී ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ එම මැතිණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක විසින් මෙම අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මිය උණුසුම් අයුරින් පිළිගත්හ.

අනතුරුව මහ සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිවස විවෘත කිරිමේ උත්සවය ඇරඹිණි. පසුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් වීරෝදාර රණවිරුවාගේ දියණිය වෙත නවතමයෙන් ඉදිකරන ලද නිවසේ යතුරු භාරදුන්නේය.

පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් ලාන්ස් කෝප්‍රල් එම්.එම්.පී.කේ විජේසූරිය වීරෝදාර රණවිරුවාගේ බිරිද සහ දියණිය හංසනී සෙව්වන්දිකා විජේසූරිය සමඟ අදහස් හුවමාරු කරගත් අතර යුද්ධ හමුදාධිපතිතුමන් එම වීරෝදාර රණවිරුවාගේ දියණිය සමග එක්ව නව නිවස සමරු ඵලකයක් නිරාවරණය කරමින් විවෘත කළේය. අනතුරුව, නිවාසලාභී පවුලේ සාමාජිකයින් සමඟ එක්ව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නව නිවසේ කිරි උතුරුවා චාරිත්‍රවාරිත්‍ර ඉටු කළේය. පසුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මිය විසින් නිවාසලාභියා වෙත නිවස සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාග කළාය.

මෙම නව නිවස යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් මාර්ගෝපදේශ මත රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූල්‍යමය අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිගේ සහ 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්වල ශ්‍රමදායකත්වය ඇතිව රුපියල් මිලියන 1.5 ක මුදලක් වැය කරමින් ඉදිකරන ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් මානූෂීය මෙහෙයුමේදි රණක්‍ෂිතයට පත් අනුරාධපුර ඉච්චන්කුලම් ප්‍රදේශයේ පදිංචි විශේෂ බලකායේ සැරයන් ආර්.වී.පී පුෂ්පකුමාර වීරෝදාර රණවිරුවා සහ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉදිකළ නව නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා සහභාගී වූහ.

එහිදි, ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහ එම මැතිණිය ඇතුලු විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධයක බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම විසින් විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ධූරයද හොබවන යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත්හ.

ඉන් අනතුරුව, සැරයන් ආර්.වී.පී පුෂ්පකුමාර වීරෝදාර රණවිරුවා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත බුලත් දී පිළිගෙන යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුලු සම්භාවනීය අමුත්තන් සමග නව නිවාස පරිශ්‍රය වෙත පැමිණියහ. පසුව මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සැරයන් ආර්.වී.පී පුෂ්පකුමාර වීරෝදාර රණවිරුවා පීත්ත පටිය කපා සුභ මොහොතින් නව නිවස විවෘත කළේය. අනතුරුව, සුජිවා නෙල්සන් මහත්මිය නව නිවසට අවශ්‍ය උපකරණ නිවාසලාභියා වෙත පරිත්‍යාග කළාය.

සැරයන් ආර්.වී.පී. පුෂ්පකුමාර 2009 වර්ෂයේ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී එල්.ටී.ටී.ඊ සැඟවුණු වෙඩික්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබීය. ඔහු අනුරාධපුර, ඉච්චන්කුලම් ප්‍රදේශයේ සිය මව සමඟ ජීවත් වන අතර එම විරෝදාර රණවිරු වෙත නව නිවසක් ඉදිකරදීම සඳහා විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රමාද වුවද විශේෂ බලකා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ මූලස්ථාන බලඇණි අණදෙන නිලධාරිගේ අධික්‍ෂණය යටතේ එම බලකායේ භටපිරිස්වල දැඩි කැපවීම තුළින් ව්‍යාපෘතිය සාර්ථකව නිමකිරීමට හැකියාව ලැබිණි.

මෙම නව නිවාස විවෘත කිරීමේ අවස්ථාවන් සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, නිවාසලාභින්ගේ පවුල්වල සාමාජිකයින් සහ එම නිවෙස් ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය දැක්වූ භටපිරිස් ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.