Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2021 21:30:08 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ඉදිකරනු ලැබූ කාලතුවක්කු අංගනය විවෘත කරයි

යාපනයේ පිහිටි 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මධ්‍යම රෙජිමේන්තුවේ මිලිමීටර් 152 කාලතුවක්කු සඳහා නිසි ආරක්‍ෂාවක් ලබාදෙමින් එම කාලතුවක්කු ස්ථානගතකර තැබීම සඳහා ස්ථාපනය කරන ලද නව කාලතුවක්කු අංගනය පසුගිය බදාදා (04) දින විවෘත කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ සහභාගී වූවේය.

10 වන මධ්‍යම රෙජිමේන්තුවේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම කාලතුවක්කු අංගනය ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක සහ කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපතිගේ මූලිකත්වයෙන් සිදුකරන ලදී. මෙම කාලතුවක්කු අංගනය ඉදිකිරීම සඳහා අවශ්‍ය තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වය 10 වන ශ්‍රී ලංක කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් සපයනු ලැබූහ.

මිලිමීටර් 152 කාලතුවක්කු අයහපත් කාලගුණික තත්ත්වයන්ට නිරාවරණය වීම වලක්වාගැනීම සඳහා නිසි ආරක්‍ෂාවක් සැපයීමට මිලියන 12 ක පමණ පිරිවැයක් දරමින් 2020 ඔක්තෝබර් මස 01 දින මෙම කාලතුවක්කු අංගනයේ ඉදිකිරීම් ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

මෙම කාලතුවක්කු අංගනයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූ, මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ඒ සඳහා දායකත්වය දැක්වූ සියළුදෙනා වෙත කෘතඥතාවය පුදකරමින් සහතිකපත් ප්‍රදානය කළේය. අනතුරුව, හෙතෙම මුදුන්ගොඩ විහාරස්ථාන පරිශ්‍රයේද සංචාරකද නිරත වූහ. මෙම උත්සවය කොවිඩ් - 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධායන කර තිබිණි.

මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක, කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති, කාලතුවක්කු පුහුණු පාසලේ සේනාවිධායක, 10 වන සහ 14 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවල අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සෙසුනිලයින් පිරිසක් ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.