Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2021 16:00:33 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද භටපිරිස් වන අලි ප්‍රහාරයකින් විනාශ වූ නිවසක් වෙනුවට නව නිවසක් ඉදිකර දෙයි

ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද භටපිරිස් අනුග්‍රාහක භවතෙකුගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව තන්තිරිමලේ මානෙල්වැව ගම්මානයේ වෙසෙන සිවිල් වැසියෙකු සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී. එම නිවාසලාභියා ජීවත් වූ නිවස වන අලි ප්‍රහාරයකින් විනාශවීම හේතුවෙන් ඔවුන් නිවසක් නොමැතිව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පාමින් සිටියි.

මෙම ව්‍යාපෘතිය සඳහා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද බ්‍රිගේඩියර් හිමාල් ගුරුගේ සිදුකළ ඉල්ලීමකට අනුව එරන්ද මල්දෙණිය, නදීර ජයසිංහ, ලලිඳු සමරවීර, ජනක බණ්ඩාර, පැතුම් රුහුනගේ සහ අජින්ත ගුණසේකර යන මහත්වරුන් සිය මූල්‍යමය අනුග්‍රාහකත්වය සපයනු ලබයි. මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා පසුගිය සඳුදා (09) දින බ්‍රිගේඩියර් හිමාල් ගුරුගේ විසින් නව නිවසට මුල්ගල් තැබුවේය.

නිවාසලාභි සිසිර කුමාර මහතා නිවසේ නොමැති අවස්ථාවක එම ප්‍රදේශයේ සැරිසරන වන අලින් විසින් ඔවුන්ගේ නිවසට දැඩි හානි සිදුකර ඇති අතර තිදරු පියෙක් වන නිවාසලාභි සිසිර කුමාර මහතා රෝගාතුරුව සිටියි.

මෙම නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට උතුරු හා නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමිපාණන්, තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය චන්දරතන හිමියන් වැඩම කරවීය. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම සමාරම්භක උත්සවයේ සංවිධාන කටයුතු ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ මූලිකත්වයෙන් සිදුකරන ලදී.