Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2021 18:13:31 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නික්මයන කර්නල් සේනාවිධායකට ගෞරවාචාර

වසර 35 ක යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන මාරසිංහ සිය ධූරයෙන් නික්මයාමේ උත්සවය ඉකුත් සඳුදා (09) දින දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මුලස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි නික්මයන කර්නල් සේනාවිධායක ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් මාරසිංහ විසින් පිළිගැනිමෙන් අනතුරුව මේජර් ජෙනරල් චන්දන මාරසිංහ වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. ඉන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද නික්ම යන කර්නල් සේනාවිධයක වෙත පිරිනැමූහ. පසුව, මේජර් ජෙනරල් චන්දන මාරසිංහ සිය ධූරයෙන් නික්මයෑම සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කළේය.

නික්මයන කර්නල් සේනාවිධායක වෙනුවෙන් පිළියෙල කර තිබු තේපැන් සංග්‍රහය සඳහා සහභාගී වූ හෙතෙම සිය කාර්යාලයේදී කර්නල් සේනාවිධයක ධූරයෙන් නික්මයෑමේ ලිපි ලේඛණවලට අත්සන් තබමින් ධූරයෙන් නික්ම ගියහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් චන්දන මාරසිංහ නිලධාරි නිවස්නයේ නවතමයෙන් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා එක්වූවේය. මෙම නව ගොඩනැගිල්ල නික්ම යන කර්නල් සේනාවිධයකගේ මඟපෙන්වීම මත මාස කිහිපයක් තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ මාණ්ඩලික නිලධාරීන්ගේ සහ භටපිරිස්වල කැපවීම මත ඉදිකර අවසන් කරන ලදී.

පසුව, හමුදා සම්ප්‍රදායානුකූලව නිලධාරි නිවස්නයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූ නික්මයන කර්නල් සේනාවිධායක සිය ස්තූති කතාව සිදුකරමින් තමන් වෙනුවෙන් පිළියෙල කරනු ලැබු වැඩසටහන් වෙනුවෙන් කෘතඥතාවය පුද කළේය. පසුව, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය අගය කරමින් සමරු තිළිණයක්ද පිරිනැමුවේය. මෙම උත්සව අවස්ථාව පවතින සෞඛාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පවත්වන ලදී.