Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2021 11:42:39 Hours

ශ්‍රී ලංකාවේ නව නවසීලන්ත මහකොමසාරිස් සහ යුද්ධ හමුදාධිපති අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ නව නවසීලන්ත මහකොමසාරිස් අතිගරු මයිකල් ඇපල්ටන් (Mr. Michael Appleton) මහතා සිය ධූරයේ පත්වීම් අක්ත පත්‍රය අතිගරු ජනාධිපතිතුමන් වෙත පසුගිය දිනක පිළිගැන්වීමෙන් අනතුරුව අද (13) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සාකච්ඡාවක නිරතවිය.

යුද සේවා ලේකම් මේජර් ජෙනරල් අජිත් කොළඹතන්ත්‍රි විසින් යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණි ශ්‍රී ලංකාවේ නව නවසීලන්ත මහකොමසාරිස් පිළිගෙන යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැඳවාගෙන යනු ලැබූවේය.

යුද්ධ හමුදාපති කාර්යාලය වෙත සපැමිණි ශ්‍රී ලංකාවේ නව නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගෙන නව පත්වීම වෙනුවෙන් සිය සූභාශිංසන එක් කළේය.

මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින ද්විපාර්ශවීය සබදතා පිළිබදව වැඩි අවධානයක් යොමුකරමින් යුද සබදතා සහ විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ත්‍රිවිධ හමුදාවන් වෙත ලබාදිය හැකි පුහුණු වැඩසටහන් පිළිබඳවද අවධානය යොමුකරන ලදී.

තවද, මෙම හමුවේදී පසුගිය වසර කිහිපය තුළ නවසීලන්තය විසින් යුද්ධ හමුදාව වෙත ලබා දුන් සහයෝගීතාවය වෙනුවෙන් සිය හෘදයාංගම ස්තූතිය පළකල ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අනාගතයේ දී එම සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබද සඳහන් කළේය.

මෙම හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් නව මහකොමසාරිස් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරමින් එතුමන්ගේ අනාගත බලාපොරොත්තු සහ අපේක්‍ෂාවන් වෙනුවෙන් සිය සුභපැතුම් එක් කළේය.

මෙම හමුව අවසානයේ එතුමන් ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 පාලන තත්ත්වය පිළිබඳවද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගෙන් විමසන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ නව නවසීලන්ත මහකොමසාරිස් අතිගරු මයිකල් ඇපල්ටන් මහතා යුද්ධ හමුදාධිපති කාර්යාලයේ සමරු සටහන් පොතේ සමරු සටහනක්ද තැබීය. මෙම අවස්ථාව සඳහා තනාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුද එක්ව සිටියහ.