Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2021 21:40:27 Hours

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් මූල්‍යමය දිරිගැන්වීම්

ලොව අන් කිසිදු හමුදාවකට සමකළ නොහැකි පෙර නොවූ විරුවන් වන ශ්‍රී ලාංකීය රණවිරුවන්ගේ පරාර්ථකාමී බව, සහෝදරත්වය සහ අන්‍යෝන්‍යය සුහදත්වය තවදුරටත් ලොවට පිළිබිඹු කරමින් ජනාධිපති සමාව මත නිදහස ලබා සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 15 දෙනෙකුට ස්වයං රැකියාවක නියැලී තම ජීවනෝපාය මාර්ගයන් සකස් කරගැනීම සහ ශ්‍රී ලාංකීය පුරවැසියෙකු වශයෙන් නීතිගරුකව ජීවනෝපාය සිදුකරගෙන යාමට මූලික අඩිතාලම සකස් කරදීමේ අරමුණින් ඔවුන් වෙත මූල්‍යමය පරිත්‍යාගයන් පිරිනැමූහ.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (07) දින උතුරු ප්‍රදේශයේ කොවිඩ් - 19 වෛරසය සම්ප්‍රේශණය පිළිබඳ සොයැබැලීම සඳහා යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වූවේය. එම සංචාරය අතරතුර යාපනය ජෙට්වින් හෝටලයේ පැවති කෙටි උත්සවයකදී ජනාධිපති සමාව ලබා සිටින දශක තුනක් පුරාවට සියලුම ශ්‍රී ලාංකිකයින් භිතියට පත් කරමින් මනුෂ්‍යත්වය කෙලෙසමින් දරුණු අපරාධ සහ මිනීමැරුම් සිදුකළ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ ජීවනෝපාය මාර්ග ස්ථාවර කරගනිමින් ස්වයං ආදායම් උත්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ඔවුන් වෙත මූල්‍යමය පරිත්‍යාග සිදුකළහ.

එම කර්තව්‍යය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ සම්බන්ධීකරණය මත ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරියෙකු සහ දානපතියෙකු වන වාමදේවන් ත්‍යාගේන්ද්‍රන් මහතාගේ අනුග්‍රාහකත්වය මත එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 100,000/= ක මුදලක් බැගින් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා ඇතුලු ආරාධිතයින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙත එම මූල්‍ය පරිත්‍යාග ලබාදීමෙන් පසු ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන් අමතමින් මෙම සුවිශේෂී පරිත්‍යාගය සිදුකිරීමට හේතුපාදක වූ කරුණු පැහැදිලි කරන ලදී. “ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වී සිටි ඔබ මිනීමැරුම් සිදුකර සිය ගණනක් අහිංසක ජීවිත බිලි ගනිමින්, බෝම්බ පිපිරීම්, සමූල ඝාතන, පොදු දේපළ විනාශ කිරීම්, සිංහල හා දමිළ නායකයින් සහ බුද්ධිමතුන් ඝාතනය කිරීම වැනි සාහසික ක්‍රියාවලට පෙළඹුනේ ප්‍රභාකරන් සහ ඔහුගේ ඊනියා ‘නිදහස් සටන්කරුවන්’ ඔබව ඒ සඳහා පොළඹවා තිබූ බැවිනි. මේ වනවිට, ඔබ විසින් අතීතයේ සිදුකරනු ලැබූ එම සාපරාධි අපරාධවල බලපෑම, ලේ වැගිරීම්වල නිශ්ඵලභාවය සහ එවැනි කෘර ක්‍රියාකාරකම්වල බරපතලකම ඔබට හොඳින් වැටහෙනු ඇතැයි විශ්වාස කරමි. එම භිෂණකාරි ක්‍රියාවලියේදී ඔබ සමඟ යුද වැදුණු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් යුද්ධ හමුදාවේ වීරෝදාර රණවිරුවන්ට ද වෙඩි තබා ඔවුන්ගේ අත් පා අහිමි කර ඇත. කෙසේ වෙතත්, අප ඔබ කෙරෙහි කිසිදු ද්වේෂයක් නොමැති බව සඳහන් කිරීමට කැමැත්තෙමු.”

"එබැවින් ඔබට ජනාධිපති සමාව ලැබීමෙන් පසු ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින බවත්, ඔබ සියලු දෙනාම මනුෂ්‍යයන් බැවින් ආගමික හා සංස්කෘතීන් වල වටිනා ආචාර ධර්ම වලින් පෝෂණය වී රටේ නීතිගරුක හා ගෞරවනීය පුරවැසියන් ලෙස සාමකාමී ජීවිතයක් ගත කිරීමට සූදානම් බව ලෝකයට පසක් කර පෙන්වීමට මෙය ඔබට අගනා අවස්ථාවක් වනු ඇත. අපි ඔබ සැමට අපේම සහෝදරයන්ට මෙන් සලකන අතර, ඔබ සැම පුනරුත්ථාපනය කර ඔබලාගේ ජීවනෝපායන් සරිකරගැනීම සඳහා උපරිම සහයෝගය ලබා දීමටත් අනාගතයේදී ඔබ සැමට නිවාස පවා සකස්කර දී ඔබලාගේ සමාජ ස්ථාවරත්වය සකස්කරදීමට අප කැමැත්තෙමු” යනුවෙන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

එම මුදල් පරිත්‍යාග සිදුකිරීම අවසන් වීමෙන් අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහකත්වය දැක්වූ වාමදේවන් ත්‍යාගේන්ද්‍රන් මහතාට සිය කෘතඥතාපූර්වක ස්තූතිය පළකරමින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, එම ප්‍රතිලාභීන් සමඟ අදහස් කිහිපයක් හුවමාරු කළේය. එහිදී, ඔවුන්ගේ අනාගත සැලසුම්, ආදායම් උත්පාදන ව්‍යාපෘති සහ ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම යනාදි කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබූහ. දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද මධ්‍යයේ සිදුකළ මෙම වැඩසටහන සමාප්තියෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වීමට ඔවුන් ද දැඩි උනන්දුවක් දැක්වූහ.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහභාගිත්වය අගය කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

පලාලි ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා භටපිරිස් විසින් ලබාදුන් උත්තමාචාරය පිළිගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් එතුමන් පිළිගනු ලැබීය.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් හරේන් පීරිස්, 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන, බලසේනාධිපතිවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් කිහිපදෙනෙකු දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.