Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2021 18:00:19 Hours

553 වන බලසේනාවේ භටපිරිස් කුඩා දැරියන් දෙදෙනෙකුගෙන් සමන්විත අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දෙති

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන නිවාස නොමැති ප්‍රජාව වෙනුවෙන් නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 සහ 553 වන බලසේනාවන්හී භටපිරිස් විසින් මරදන්කර්නි ප්‍රදේශයේ කුඩා දැරියන් දෙදෙනෙකු සමගින් විවිධ අවශ්‍යතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර ඉකුත් සඳුදා (09) දින නිවාසලාභියා වෙත භාරදුන්නේය.

55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධනගේ සහ ඒ යටතේ පාලනය වන ඒකකයන්වල අණදෙන නිලධාරින්ගේ උපදෙස් මත ‘හිසට සෙවනක්’ ව්‍යාපෘතිය යටතේ අවම පිරිවැයක් දරමින් මෙම ව්‍යාපෘතිය සිදුකරන ලදී. සමෘද්ධි බැංකුවේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව නිවසේ ඉදිකිරිම් කටයුතු සිදුකරන ලදී.

මෙම නව නිවස නිවාසලාභීන් වෙත පවරාදීමේ උත්සවය සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහභාගී වූවේය. සමෘද්ධි සුභසාධනයෙන් දිවිගෙවන දුෂාන්ති ජූඩිත් රොබින් මහත්මියගේ දුෂ්කර ජීවිකාව පිළිබඳ යුද්ධ හමුදාව වෙත සැල වූ විගස ඇය වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීමේ කටයුතු ආරම්භ කරන ලදී.

නව නිවස විවෘත කිරීමේ උත්සවයේදී, ඒ වෙනුවෙන් ශ්‍රම දායකත්වය දැක්වූ 553 වන බලසේනාව යටතේ ස්ථාපිත 10 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නිවාසලාභින්ගේ දූෂ්කරතාවයන් පිළිබඳ සලකා බලා එම පවුල වෙත වියළි සලාක පාර්සල්, ගෘහ භාණ්ඩ සහ පාසල් පොත් ඇතුළු පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කළහ. නිවාසලාභියා වෙත නව නිවසේ යතුරු භාරදීමෙන් අනතුරුව මෙම උත්සවය සඳහා සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ නිවාසලාභියාගේ පවුලේ කුඩා දරුවන් එක්ව හින්දු සම්ප්‍රදායානුකූලව නව නිවස විවෘත කළහ.

මෙම අවස්ථාව සඳහා මරදන්කර්නි ප්‍රාදේශිය ලේකම්, 55 වන සේනාංකයේ සේනාංකාධිපති, 552 සහ 553 වන බලසේනාවල බලසේනාධිපතිවරුන්, සමෘද්ධි බැංකු නිලධාරින්, නිවාසලාභියාගේ ඥාතීන් සහ රාජ්‍ය නිලධාරින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.