Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2021 12:17:46 Hours

ක්‍රීඩා පාසලේ සංවර්ධන කටයුතු ඇරඹේ

ජනාධිපති නිර්දේශය මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් වෙත පැවරෙන ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව සිදුකරමින් සිටිති. ඒ අනුව, පසුගිය මාස කිහිපය තුළ එම භටපිරිස් විසින් පාසල් ක්‍රීඩාපිටි, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන සහ ක්‍රීඩාගාරවල ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කර ඇත.

ඒ අනුව, ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකරනු ලැබූ ක්‍රීඩා පිටිය සහ ඒ අවට ඇති ඉදිකිරීම් කටයුතු සහ එම ක්‍රීඩා පිටියේ තණකොල වැවීම සම්පූර්ණයෙන් නිමකර පසුගිය අඟහරුවාදා (03) දින නිල වශයෙන් පාසල් බලධාරින් වෙත භාරදුන්හ.

එමෙන්ම, 12 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් ක්‍රීඩාවට ප්‍රසිද්ධ තවත් පාසල් ත්‍රිත්වයක ක්‍රීඩාපිටි සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කරමින් පවතී. මෙම ව්‍යාපෘතිය යටතේ පසුගිය වර්ෂ දෙක තුළ ක්‍රීඩාව සඳහා දස්කම් දැක්වූ තවත් පාසල් 7 ක සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීම පරිදි මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රාජ්‍ය අමාත්‍යාංශය වෙතින් ලබාදීමට එකඟතාවය පළකර ඇත.

ඒ අනුව, මෙම ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 2.9 ක් සහ එහි ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 6 ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇත.

ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකරගේ උපදෙස් මත ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර විසින් මෙම ව්‍යාපෘතීන්වල අධීක්‍ෂණ කටයුතු සිදුකරනු ලබයි.