Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2021 21:50:08 Hours

ශ්‍රී දළඳා පෙරහැර ආලෝකමත් කිරීමට විජයබාහු පාබල රෙජිමේන්තුවෙන් කොප්පරා පූජා කරති

කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා පැතිරීම පාලනය කිරීමේ ජාතික අභියෝගාත්මක කර්තව්‍යය මධ්‍යයේ වුවද, වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය වීදි සංචාරය කිරීම සඳහා මහනුවර වීදි ආලෝකමත් කිරීමට යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පසුගිය සඳුදා (09) දින ශ්‍රී දළඳා මාලිගාව වෙත කොප්පරා පූජා කරන ලදී. සම්ප්‍රදායිකව චාරිත්‍රයක් ලෙස අඛණ්ඩව 08 වන වරටත් සිදුකරනු ලබන මෙම පූජාවේදි කොප්පරා ටොන් 10 ක් පූජා කරනු ලැබුහ.

කාර්යබහුලත්වය මධ්‍යයේ වුවද සඳුදා (09) දින ශ්‍රී දළඳා මාලිගාව වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟ එක්ව ශ්‍රී දළදා මාලිගාවේ දියවඬන නිළමේ නිලංග දෑල බණ්ඩාර සහ සතර මහා දේවාලවල ප්‍රධාන කපු මහත්වරුන් වෙත සංකේතාත්මකව කොප්පරා පිරිනමන ලදී.

යුද්ධ හමුදාව වෙතින් සෑම වසරකම සාම්ප්‍රදායිකව ශ්‍රී දළඳා මාලිගාවේ පවත්වනු ලබන දළඳා පෙරහැර මංගල්‍යය සඳහා කොප්පරා පූජාකරනු ලබයි. පෙර වසරවලට සාපේක්‍ෂව ශ්‍රී දළඳා මාලිගාවේ බලධාරින් විසින් සංවිධානය කළ කොප්පරා ප්‍රදානය පිළිගැනීමේ උත්සවය වඩාත් චාම් අයුරින් සූදානම් කර තිබීම ද විශේෂත්වයකි. එහිදී, ඔවුන් සිය අදහස් පළකරමින් ශ්‍රී දළඳා පෙරහැර සඳහා අත්‍යවශ්‍ය සහ අධික මිලක් වැයකිරීමට සිදුවන කොප්පරා යුද්ධ හමුදාව වෙතින් පූජා කිරීම ඇගයීමට ලක් කරන ලදී.

කොප්පරා පූජා කිරීම සඳහා සූදානම් කර තිබූ කෙටි උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටිය, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ සහ 11 වන සේනාංකයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

කුරුණෑගල, බෝයගනේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යයට කරනු ලබන ගෞරවාන්විත පූජාවක් ලෙස, පෙරහැර විදී සංචාරය කරන මාර්ග ආලෝකමත් කිරීම සඳහා වර්ෂ 2014 සිට අඛණ්ඩව සෑම වසරකම මෙලෙස කොප්පරා පූජාව සිදුකරනු ලබයි.

මෙවර මෙම උතුම් මාහැඟි පුන්‍යකර්මය ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටියගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරනු ලැබිණි. වාර්ෂික ඇසළ පෙරහැර ආලෝකමත් කිරීමේ උතුම් අරමුණ ඇතිව බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී පෙරහැර මංගල්‍යය ආරම්භ වීමට මාස තුනකට පෙර පොල් වියළා කොප්පරා සකස්කිරීම් ආරම්භ කරනු ලබයි. එම වත්පිළිවෙත් පුරාණ ආගමික චාරිත්‍රානුකූලව හා සම්ප්‍රදායන්ට අනුකූලව සිදුකරනු ලබයි.

මෙම ඓතිහාසික අවස්ථාවට එක් වූ යුද්ධ හමුදාධිපතිතුමන්, දියවඩන නිලමේතුමන් සහ ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ කළමණාකරු විසින් මහත් හරසරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් ඉහළ මහලේ පිහිටි අති උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ආශිර්වාද ලබාගත්තේය. එහිදී, ලක්වාසීන්ට කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සටන් වදින සියළුම පාර්ශවකරුවන්ට සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ආශිර්වාද එක්කරමින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම රෙජිමේන්තු පරිශ්‍රයේ පිහිටි පොල් වගාව තුළින් එක්රැස් කර සකසන ලද කොප්පරා තොගය සාම්ප්‍රදායික බෙර වාදනයන් මධ්‍යයේ ශ්‍රී දළඳා මාලිගාව වෙත පරිත්‍යාග කළහ.

මෙම කොප්පරා පූජා කිරිමේ උත්සව අවස්ථාව සඳහා එක් වූ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා විසින් සමරු තිළිණයක් පිරිනැමූ අතර එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත සිය කෘතඥතාවය පුදකරන ලදී.

මෙම පුණ්‍ය කටයුත්තේ සමාප්තිය සනිටුහන් කරමින් කොවිඩ් - 19 වෛරසය පැතිරීම පාලනයට සහ ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළේය.