Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2021 20:00:08 Hours

දිවංගත හමුදා සෙන්පති ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු යුද්ධ විරුවන්ගේ අනුස්මරණය කරමින් 29 වන සංවත්සරය මහත් අභිමානවත් අයුරින් සමරයි

1992 වර්ෂයේ අගෝස්තු මස 08 දින රුදුරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් අටවන ලද බිම්බෝමබයකට ගොදුරු වී දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ අනෙකුත් රණවිරුවන්ගේ 29 වන අනුස්මරණ දිනය අගෝස්තු මස 08 දිනට යෙදී තිබේ. ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු යුද විරුවන් අමරණීය කරමින් එම විරෝදාර රණවිරුවන් බිම් බෝම්බයට ගොදුරු වූ ස්ථානය වූ යාපනය, කයිට්ස්, අරාලි තුඩුවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩෙන්සිල් කොබ්බෑකඩුව අනුස්මරණ කෞතුකාගාරය විවෘත කළේය.

අභාවප්‍රාප්ත ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, කර්නල් එච්.ආර් ස්ටිවන්, කර්නල් ජී.එච් ආරියරත්න, කර්නල් වයි.එන් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිතන් කර්නල් නලින් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී විජේපුර සහ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ජේ වික්‍රමසිංහගේ 29 වන අනුස්මරණ දිනයට සමගාමීව මෙම නව කෞතුකාගාරය සහ ස්මාරක භූමිය ඉදිකිරීම ආරම්භ කරන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එවකට ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධුරයේ රාජකාරි කළ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා විසින් මෙම කෞතුකාගාරයේ සහ ස්මාරක භුමියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේය.

මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සමඟින් 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් හරේන් පීරිස් විසින් මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගන්නා ලදී. ඉන් අනතුරුව, එම සිදුවීමෙන් ජීවිතක්‍ෂයට පත් වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමට සහ එම රණවිරුවන් දසදෙනාගේ සමරු ඵලක සහ ඡායාරූප නිරාවරණය කිරීමට එහි සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ආරාධනා කරන ලදී. පසුව, මහා සංඝරත්නය සහ හින්දු, කතෝලික හා ඉස්ලාමීය පූජකවරුන් එම විරෝදාර රණවිරුවන්ගේ දේශප්‍රේමිත්වය සිහිපත් කරමින් ආගමික චාරිත්‍රානුකූලව එම වීරෝදාර රණවිරුවන් වෙත පිං අනුමෝදන් කළහ.

මෙම කෙටි උත්සවයේදී, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් රණවිරු ස්මාරකය වෙත ගොස් මව්බිම වෙනුවෙන් අභිතව සටන්වැදුණු විරුවෙකු ලෙස මහජනතාව අතර විරුදාවලිය ලත් දිවංගත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුවට පළමුව පුෂ්පෝපහාර පුදකළේය. ඉන් අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරිපෙළ අණදෙන්නෙකු වූ කීර්තිමත් රණශූර මේජර් ජෙනරල් විජය විමලරත්නගේ ඡායාරූපය අභියසදී පුෂ්පෝපහාර පුදකරන ලදී. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම රණවිරු ස්මාරකය පසෙක පිහිටි එම අනපේක්‍ෂිත සිදුවීමට මුහුණදුන් රණවිරුවන් ගමන්ගත් වාහනයේ අවශේෂ ප්‍රදර්ශනය කර ඇති කුඩා කෞතුකාගාරය විවෘත කරන ලදී. ඉන් අනතුරුව, මෙම අනුස්මරණ උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම පිපිරුමේදී මියගිය නාවික හා යුද්ධ හමුදා රණවිරුවන්ට ගෞරව දැක්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් එක්ව පුෂ්පෝපහාර දැක්වූහ.

මෙම උත්සවයේදී, ජාතික ගීය වාදනය කිරීම, මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම, අවර අවි සරඹය සහ අනුස්මරණ කථනය අංග කැපීපෙනිණි. මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු සිහිකිරීමේ බියුගල් නාදය වාදනය කිරීම සිදුකරන ලදී. මෙම අනුස්මරණ උත්සවයේදී සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව ත්‍රිවිධ හමුදා උත්තමාචාර පෙළපාලියක් පවත්වමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ආචාර කළහ.

යාපනය, අරාලි තුඩුවේ පැවති මෙම අනුස්මරණ උත්සවය සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් හරේන් පීරිස්, 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන, බලසේනාධිපතිවරුන් සහ සෙසු නිලයින් පිරිසක් සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.