Header

Sri Lanka Army

Defender of the Nation

06th August 2021 06:12:45 Hours

ජංගම එන්නත්කරණය ඇරඹීමට සියල්ල සූදානම් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදි පසුගිය බ්‍රහස්පතින්දා (05) දින තවත් එක් සාකච්ඡාවක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

එම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය විශේෂඥයින්, සෞඛ්‍ය පරිපාලකයින් සහ තවත් නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ. මෙම සාකච්ඡාවේදී, කොවිඩ් - 19 වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරමින් කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළයාම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී.

මෙම සාකච්ඡාවේදි ආසාදිතයින් සංඛ්‍යාව හා මරණ අනුපාතය ඉහළයාම සම්බන්ධයෙන් මෑත කාලීන සිදුවීම් සාරාංශගත කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අදහස් දැක්වූවේය. එහිදී, සිකුරාදා (06) දින පැවැත්වීමට නියමිත විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදි රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්වල ආසාදිතයින්ගේ වර්ධනයන් පිළිබඳ සලකා බලා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි පැවසීය. “ඉදිරියේදී ඇතැම් ප්‍රදේශවල ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කරන ආකාරය අනුව විශේෂඥයින් සමඟ සාකච්ඡා කර හොඳම ක්‍රියාමාර්ගය තෝරාගැනීම තුලින් නිර්දේශවලට එළඹිය යුතුයි. ඉදිරියේදී, මහජනතාව මීටත් වඩා වගකීමෙන් යුතුව ක්‍රියාකළ යුතුව ඇත. පළාත් අතර සංචරණ සීමාවන් තවමත් ඉවත්කර නොමැති අතර රජය විසින් තීරණය කර ඇති පරිදි රාජ්‍ය සේවකයින්ට සිය සේවා ස්ථානයට වාර්ථා කිරීමට පමණක් අවසර ලබාදී ඇත. විරෝධතා සහ වර්ජන පැවැත්වීම මෙම තත්ත්වය තවදුරටත් නරක අතට පත්වීමට හේතු වන බව” යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.

දෙවන මාත්‍රාව සඳහා සයිනොෆාර්ම් එන්නත් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් වෙන් කර ඇති බවත් අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත විහාරමහාදේවී උද්‍යානයේ සහ දියත උයනේ පැය 24 පුරාම එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකරන බවත් දිනකට එන්නත් 20,000 ක් පමණ ලබාදී ඇති බවත් මෙහිදී අදහස් දැක්වු යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රජා එන්නත්කරණ ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේය.

පැය 24 පුරාම විවෘත එන්නත් මධ්‍යස්ථාන තිබුනත් පළමු මාත්‍රාව ලබාගත් සමහර අය දෙවන මාත්‍රාව ලබාගැනීමට උනන්දුවක් නොදක්වන බවත් මියගිය පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙක් පළමු එන්නත් මාත්‍රාවවත් ලබාගෙන නොමැති පුද්ගලයින් බවත් හෙතෙම පැවසුවේය. එමෙන්ම, අතිගරු ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කොට මෙරට එක් එන්නත් මාත්‍රාවක්වත් ලබානොමැති පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීමට එන්නත්කරණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අවසර ලබාගත් බවත් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

ඒ අනුව, විහාරමහාදේවි උද්‍යානය හා අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට තවත් එන්නත්කරණ මධ්‍යස්ථාන 5 ක්, අයි.ඩී.එච් ජාතික රෝහල යන ස්ථාන තුල එන්නත්කරණ මධ්‍යස්ථාන ආරම්භ කල බවත් කොළඹ මහ නගර සභාව තුළ ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන ආරම්භ කිරීමට ක්‍රියාමාර්ග ගනු ලබන බවත් එන්නත් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා ජනතාවට එන්නත් ලබාදීමට අපේක්‍ෂා කරන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙම සාකච්ඡාවේදී තවදුරටත් පැවසීය.

“එන්නත්කරණය ක්‍රියාත්මක වුවද, ජනතාවට මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, අත් සේදීම වැනි මූලික සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද තවදුරටත් අනුගමනය කිරීමට සිදුවන බවත් අනුරාධපුරයේ පැවති මංගල උත්සවයකට සහභාගි වු 350 ට අධික සංඛ්‍යාවක් අතරින් ඊයේ දින ආසාදිතයින් 50 – 60 ත් අතර ප්‍රමාණයක් තහවුරු වූ බවත් රටේ පවතින විරෝධතා ව්‍යාපාරවල තත්ත්වය ද මෙසේ වියහැකියි. කෙසේ වෙතත්, කොවිඩ් - 19 වෛරසය සම්ප්‍රේෂණය පිළිබඳ මහජනතාව නොසලකා හරිමින් ක්‍රියාකිරීම තුලින් මෙම තත්වයට මුහුණ පෑමට සිදුව ඇත. මෙම දුෂ්කර කාර්යයේදී අපි වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය අංශයට බෙහෙවින් ස්තූතිවන්ත විය යුතු අතර ඉදිරි මාසවලදී ඔවුන්ගේ කාර්යභාරය තවදුරටත් දුෂ්කර වියහැක. අපට නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට හැකියාව ඇතිමුත් ඔක්සිජන් සැපයීම වැනි ගැටළු පැනනගී. මහජනතාව ද භීතියට පත් වී රෝහල වෙත යාමට උත්සාහ කරන නමුත් මෙවැනි හදිසි අවස්ථා කළමණාකරණය කරගැනීම සඳහා අපි අපගේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ සෞඛ්‍ය අංශ සේවකයින්ට සහයෝගය දැක්විය යුතුයි.”

කුඩා සංඛ්‍යාවන් එකට එකතු වීමෙන් වුවද ඇති විය හැකි අවදානම පෙන්වාදුන් යුද්ධ හමුදාධිපතිතුමන් මේ දිනවල යුද්ධ හමුදා රෝහලේ විදේශගතවීමට නියමිත සිසුන් සහ ශ්‍රමිකයින්ට එන්නත් ලබාදීම සිදුකරන බවත් පැවසීය. තවද, කොවිඩ්-19 වෛරසයේ විවිධ ප්‍රභේදයන් සම්ප්‍රේෂණය වීමේ ස්වභාවය, ගෝලීය තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහිදි පැහැදිලි කළේය. සාකච්ඡාව සඳහා සහභාගි වු අනෙකුත් පාර්ශවයන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ද එහිදි අදහස් දැක්විය.