05th August 2021 21:13:59 Hours
සන්නද්ධ සේවාවන්හී සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් අද (03) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කළේය. එහිදි ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නවතමයෙන් ස්ථාපිත කළ ඩිජිටල් ක්‍රියාන්විත මැදිරිය අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කළේය.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් එහිදි, යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු මානුෂීය මෙහෙයුමේදී කරන ලද දායකත්වය වෙනුවෙන් නිර්මාණය කර ප්‍රදර්ශනාත්මකව තබා ඇති ප්‍රතිමුර්තින් නිරික්‍ෂණය කළේය. පසුව යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නවතමයෙන් ස්ථාපිත කරනු ලැබු ඩිජිටල් ක්‍රියාන්විත මැදිරිය අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කර එහි නිරීක්‍ෂණ චාරිකාවකද නිරතවූහ.
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ස්ථාපනය කරනු ලැබු නවීන සංඥා සහ ඩිජිටල් තාක්‍ෂණ උපාංගයන්ගෙන් සමන්විත මෙම ක්‍රියාන්විත මැදිරිය ඕනෑම හදිසි අවස්ථාවකදී හෝ ස්වාභාවික විපතකදී යුද්ධ හමුදා භටපිරිස් ස්ථානගත කිරීම පිළිබදව සහ මේ වනවිට යුද්ධ හමුදා භටපිරිස් ස්ථානගත කර තිබෙන ස්ථාන සහ රාජකාරීන් සඳහා යොඳවා තිබෙන ස්ථාන පැහැදිලිව නිරීක්‍ෂණය කිරීමත් ඊට අවශ්‍ය උපදෙස් ලබාදීමත්, පහසුවෙන් සිදුකර ගැනීමට මෙමගින් හැකියාව ලැබේ.
නව ක්‍රියාන්විත මැදිරියේ ක්‍රියාකාරීත්වය සහ එමගින් සිදුකෙරෙන කාර්යභාරය පිළිබද ඉදිරිපත් කිරිමක් මගින් යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු විසින් අතිගරු ජනාධිපතිතුමන් දැනුවත් කළේය. නවීන උපාංගයන්ගෙන් සමන්විත මෙම ක්‍රියාන්විත මැදිරියේ කාර්යභාරය පිළිබඳ අතිගරු ජනාධිපතිතුමන් ද ඉතා උවමනාවෙන් යුතුව සවන්දුන් අතර එම අවස්ථාවට යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රණවීර ද එක්ව සිටියේය.
ඉන් අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත නිලධාරීන් නව ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ක්‍රියාපටිපාටිය පිළිබද එම අවස්ථාවට සපැමිණි ආරාධිතයින් සමඟ කරුණු හුවමාරු කරගත් අතර, පසුව අතිගරු ජනාධිපතිතුමන් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නව ක්‍රියාන්විත මැදිරියේ සැලසුම් අංශය ද නිරීක්‍ෂණය කළේය.
යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නවතමයෙන් ස්ථාපනය කරන ලද ක්‍රියාන්විත මැදිරි සංකීර්ණය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රණවීර විසින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතිගරු ජනාධිපතිතුමන්ව නව ක්‍රියාන්විත මැදිරිය වෙත කැටුව ගියහ. එම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.
ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී අතිගරු ජනාධිපතිතුමන්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අතර සාකච්ඡාවක් ද පැවැත්විණි. මෙම සංචාරය අවසානයේ අතිගරු ජනාධිපතිතුමන් සිය මතකයන් සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.