Header

Sri Lanka Army

Defender of the Nation

30th July 2021 15:58:28 Hours

මහනුවර යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත මහනුවර පිහිටි 11 වන සේනාංක මුලස්ථානයට ආසන්නයේ යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකෙරෙන යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින යුද්ධ හමුදා ඉංජිනේරු භටපිරිස් විසින් ඉදිකරමින් පවතින රෝහල් පරිශ්‍රයේ නිරික්‍ෂණය සංචාරයක නිරත වූහ.

රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරික්‍ෂණය කල ආරක්‍ෂක සේනා ආඥාපති ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කිරීමේ අරමුණින් පැවති සාකච්ඡාවට එක්වෙමින් ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටින යුද්ධ හමුදා භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයකින් සමන්විත මෙම රෝහල තුල ඇඳන් 123 ක ධාරිතාවයකින් සමන්විත වන අතර යුද්ධ හමුදාවේ සේවයේ නියුතු නිලධාරීන් හා සෙසුනිලයින් මෙන්ම විශ්‍රාමික නිලධාරීන් හා සෙසුනිලයින්ට නේවාසිකව ප්‍රතිකාර සිදුකිරීම සඳහා වාට්ටු 4 කින් යුක්තය. මෙම රෝහල නවීන තාක්‍ෂණික පහසුකම් සහ නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විතය. මෙම රෝහල් සංකීර්ණය විශේෂඥ වෛද්‍ය කාමර, එක්ස්-රේ කිරණ ඒකකයක්, ඊසීජී ඒකකයක්, රසායනාගාරයක්, Ultra Sound ස්කෑන් ඒකකයක්, ඔසුහලක්, දැඩිසත්කාර ඒකකයක්, දන්ත ශල්‍යාගාරයක්, හෙද විවේක කාමරයක්, කාන්තා ඒකකයක් සහ ප්‍රභූ ප්‍රතිකාර ඒකකයක් ආදී අංශවලින් සමන්විතය.

අනෙක් ගොඩනැගිල්ලි තුල බාහිර රෝගී අංශයක්, විදුලි සැපයුම් අංශයක්, ශල්‍යාගාරයක්, රෙදි සේදීමේ ස්ථානයක්, භෞත චිකිත්සක ඒකකයක්, පරිපාලන සංකීර්ණයක් සහ වෛද්‍ය නිලධාරීන්ගේ නවාතැන් ඇතුළු තවත් අංශ කිහිපයක් ස්ථාපිත කෙරේ.

එමෙන්ම, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ පල්ලේකැලේ ඉදිකරමින් පවතින හොකී ක්‍රීඩාංගණයේ ප්‍රගතිය පිළිබඳව ද සොයාබැලීය.