Header

Sri Lanka Army

Defender of the Nation

30th July 2021 23:25:57 Hours

රණක්‍ෂිතයට පත් යුද්ධ හමුදාවේ විරෝදාර රණවිරුවෙකු ටෝකියෝ පැරා ඔලිම්පික් තරඟාවලියට

ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ අංක එකේ ආබාධිත රෝදපුටු ටෙනිස් ක්‍රීඩක සැරයන් ඩි.එච්.ආර්. ධර්මසේන නුඳුරේදී පැවැත්වෙන ටෝකියෝ පැරා ඔලිම්පික් තරඟාවලිය - 2021 සඳහා සහභාගිවීමට නියමිතය.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවේ රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයෙකු තෝරා ගත් තුන්වන අවස්ථාව ද මෙය වේ.

වර්ෂ 2009 මැයි මසට ප්‍රථම පැවති මානුෂීය මෙහෙයුමේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් එල්ල කල ප්‍රහාරයකින් වම් පාදයේ දණහිසින් පහළ කොටස අහිමි වු සැරයන් ඩි.එච්.ආර්. ධර්මසේන වර්ෂ 2010 සිට රෝදපුටු ටෙනිස් ක්‍රීඩා කිරීම ආරම්භ කළේය.

දැඩි අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් හා උනන්දුවකින් යුතුව ශ්‍රී ලංකාවේ ආබාධිත ක්‍රීඩකයින් අතර දක්‍ෂතම ක්‍රීඩකයා බවට පත්වු සැරයන් ඩි.එච්.ආර්. ධර්මසේනට පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලි කිහිපයකට සහභාගිවිමට ද අවස්ථාව හිමි විය.

2018 සහ 2019 වසර වලදී ජාත්‍යන්තර රෝදපුටු ටෙනිස් තරඟාවලි ජයග්‍රහණය කළ සැරයන් ඩී.එච්.ආර් ධර්මසේන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 38 වන ස්ථානය දක්වා ඉහළට පැමිණියේය. එය දේශීය රෝදපුටු ටෙනිස් ක්‍රීඩකයෙකු දැක්වූ ඉහළම ජයග්‍රහණයයි.

ජාත්‍යන්තර ටෙනිස් කවුන්සිලය විසින් සැරයන් ඩී.එච්.ආර් ධර්මසේනගේ විශිෂ්ඨ දස්කම් අගය කරමින් මෙම වසරේ ටෝකියෝ හිදි පැවැත්වෙන පැරා ඔලිම්පික් තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවීමට අවස්ථාවට උදාකර දුන්නේය.

සැරයන් ඩී.එච්.ආර් ධර්මසේන 2018 වසරේ පැවති ආසියානු පැරා ක්‍රීඩා තරඟාවලියේදී ලෝකඩ පදක්කම් දිනාගත්තේය. මැලේසියානු විවෘත රෝද පුටු ටෙනිස් තරඟාවලියේදී විවෘත යුගල අංශයේ රන් පදක්කම දිනාගත් සැරයන් ඩී.එච්.ආර් ධර්මසේන 2018 වසරේ මැලේසියාවේ, ක්වාලාම්පූර් හිදී පැවැති තරඟාවලියේ විවෘත කේවල අංශයේ රිදී පදක්කම ද දිනාගත්තේය.

2018 වසරේ තායිවානයේ පැවති විවෘත රෝද පුටු ටෙනිස් තරඟාවලියට සහභාගී වූ සැරයන් ඩී.එච්.ආර් ධර්මසේන විවෘත කේවල අංශයේ රිදී පදක්කම සහ විවෘත යුගල අංශයේ රන් පදක්කම දිනා ගත්තේය.

2007 වසරේදී ආධුනික සෙබලෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වු සැරයන් ඩී.එච්.ආර්. ධර්මසේන ආධුනික පුහුණු පාඨමාලාව අවසානයේ 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අනුයුක්ත කෙරිණි.