Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2021 15:00:20 Hours

ධූරයෙන් නික්මයන ආඥාපතිට යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ගෞරවාචාරය

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස රාජකාරී ඉටුකළ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරේ රාජකාරි භාරගැනීම සඳහා 2021 ජුලි මස 18 දින සිය ධුරයෙන් නික්ම ගියේය.

නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා වෙත 17 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පලාලි රණවිරු ස්මාරකය අභියසදී යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර පුදකළේය.

ඉන් අනතුරුව, නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි භටපිරිස් අමතමින්, සිය සේවා කාලය තුල යාපනය අර්ධද්වීපයේ සාමකාමී වාතාවරණයක් පවත්වාගැනීම සඳහා තම වෘත්තීමයභාවය උපයෝගි කරගනිමින් සිදුකරනු ලැබු අනගි මෙහෙවර මෙන්ම ඒ වෙනුවෙන් කැපවී සිටින සියලු නිලයින් වෙත සිය කෘතඥතාවය පළ කළේය.

මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යාපනය අර්ධද්වීපයේ ආරක්‍ෂාව වෙනුවෙන් පියවර රැසක් ගත් අතර එමගින් ආරක්‍ෂක හමුදාවන් කෙරෙහි මහජනතාව තුළ විශ්වාසය ගොඩනැගිණි. එහි ප්‍රතිඵලයක් ලෙස යාපනය අර්ධද්වීපයේ මහජනතාව වෙනුවෙන් සාමකාමී පරිසරයක් ගොඩනැඟීමට හෙතෙම සමත් වූයේය.

මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යාපනයේ මහජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. දේශීය මෙන්ම විදේශීය අනුග්‍රාහක භවතුන්ගේ සහය ඇතිව යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නංවාලීමට මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි සිදුකළ සුභසාධන ව්‍යාපෘතීන් මහජනතාවගේ පැසසුමට ලක් වී ඇත.

යාපනය අර්ධද්වීපයේ නිවාස අවශ්‍යතා සහිත පවුල් සඳහා නිවාස ඉදිකරදීමට අවශ්‍ය පියවර ගත් හෙතෙම සිය බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වලට වියළි සලාක පාර්සල්, රෝද පුටු, පාසල් සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය බෙදාදීම ආදි සමාජ සත්කාරක වැඩසටහන්වලට මූලිකත්වය ගෙන කටයුතු කළේය. එමෙන්ම, ස්වභාවක ආපදා සහ වෙනත් අහිතකර බලපෑම්වලින් පීඩාවට පත් වූ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු භටපිරිස් යොදවන ලදී.

තවද, යාපනය දිස්ත්‍රික්කයේ වෙසෙන විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින්ගේ යහපැවැත්ම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් ඔවුන්ට අවශ්‍ය ඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙත ලබාදීම ඇතුලු පහසුකම් රැසක් ඔවුන් වෙනුවෙන් සලසනු ලැබීය.  

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් පරිසර ආරක්‍ෂණ ව්‍යාපෘති සඳහා නැඹුරු කරමින් මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යාපනය ප්‍රදේශයේ පොල් පැළ වගාකිරීම, පැළ සිටුවීමේ දැවැන්ත ව්‍යාපෘති ඇතුලු තවත් පරිසර හිතකාමී ව්‍යාපෘති රැසක් දියත් කරන ලදී. ඊට අමතරව, යාපනය ප්‍රදේශයේ සාමය හා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා තරුණ පිරිස් හා පාසල් සිසුන් සම්බන්ධ ප්‍රජා මූලික ව්‍යාපෘතීන් දියත් කිරීමට ද එතුමන් කටයුතු කළේය.

යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් එම අර්ධද්වීපයේ කොවිඩ් - 19 වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ නිලධාරින්ගේ සහ යුද්ධ හමුදා භටපිරිස්වල සහයෝගය ඇතිව විවිධ වැඩසටහන් දියත් කිරීම මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සිදුකළ සමාජ සත්කාරක වැඩසටහන් අතර ප්‍රධානම තැනක් ගනී.

එමෙන්ම, නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, ප්‍රජා සත්කාර වැඩසටහන් දියත් කිරීම, එම වැඩසටහන් අධීක්‍ෂණ කටයුතු, විෂබීජහරණය කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ කොවිඩ් - 19 මරණ හා ආසාදිතයින් වාර්තා වීම අවම කරගැනීම සඳහා දැක්වූ දායකත්වය අතිමහත් වේ.

මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා 2021 ජනවාරි මස 19 දින සිට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත්වන තුරු 25 වන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස රාජකාරී සිදු කරන ලදී.

51 වන සේනාංකයේ සේනාංකාධිපති, 59 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 513 වන බලසේනාවේ බලසේනාධිපති යන තනතුරු හෙබවු මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 144 වන බලසේනාවේ බලසේනාධිපති වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යය සුරක්‍ෂිතභාවය භාර නිලධාරී ලෙස කටයුතු කර ඇත. මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකයේ වත්මන් කර්නල් සේනාවිධයක ධූරයද හොබවනු ලබයි.