Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2021 16:33:20 Hours

මුලතිව් සටනේ දිවිපිදූ විරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර

යුද්ධ හමුදා නිලධාරින් 44 දෙනෙකු සහ නිර්භිත සෙසුනිලයින් 1125 දෙනෙකුගේ ජීවිත බිලිගනිමින් රුදුරු එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සිය මුහුදු කොටින් සමඟ එක්ව වර්ෂ 1996 ජුලි මස 18 දින මුලතිව් ඉදිරි ආරක්‍ෂක වළල්ල සහ මධ්‍යම ආරක්‍ෂක වළල්ල බිඳදමමින් ඉදිරියට පැමිණියහ.

යලි ආවර්ජනය කිරීමට පවා අමිහිරි එම සටනේදී යුද්ධ හමුදාව සතු කාලතුවක්කු සහ සන්නාහ සන්නද්ධ රථ පවා විනාශ කිරීමට එම කුරිරු ත්‍රස්තවාදීන් කටයුතු කරන ලදී. එම සටනට එක්වු විරෝදාර රණවිරුවන් රට වෙනුවෙන් දිවිපුදා පසුගිය ඉරිදා (18) දිනට වසර 25 ක් ගතවීම හේතුවෙන් ඔවුන් සිහිකර මුලතිව් නගරයේ අනුස්මරණ උත්සවයක් සංවිධානය කරන ලදී.

මෙම රණවිරු සැමරුම් උත්සවය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය එම සටනේදී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකර රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුදකරමින් ගෞරවාචාර පුදකළහ.

මෙම අවස්ථාවට 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් ද සහභාගී වූහ.

එල්ටීටීඊ ත්‍රස්තවාදයේ අවසානය සනිටුහන් කිරීමේ මානුෂීය මෙහෙයුම 2009 මැයි මස 18 දින අවසන්වීමෙන් පසුව 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් 2010 වර්ෂයේදී මෙම රණවිරු ස්මාරකය ඉදිකරනු ලැබූහ. මෙම සටනේදී දිවිපිදූ බොහෝ රණවිරුවන් 5 වන බලසේනා මුලස්ථානය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් රණවිරුවන් වේ.

1996 වසරේ ජුලි මස 18 දින අලුයම 1.30 ට පමණ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් උතුරෙන් හා දකුණින් මුලතිව් කඳවුරට පහරදුන් අතර මුහුදු කොටින් නැගෙනහිර මුහුදින් පහර දුන්හ. පැය අටක උග්‍ර සටනකින් අනතුරුව, එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ඉදිරි ආරක්‍ෂක වළල්ල බිඳදමමින් කඳවුරු තුලට කඩාවැදී ප්‍රහාර එල්ල කරන ලදී. පසුව, එල්ටීටීඊ ත්‍රස්තවාදීන් කාලතුවක්කු මෙන්ම අවි සහ පතොරම් ගබඩාවලට ඔවුන්ගේ ප්‍රහාර එල්ලකර එම ස්ථාන අත්පත් කරගත් අතර සන්නිවේදන කුළුනට ද හානි සිදුකළහ. එහිදී, 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් අතිරේක හමුදා පැමිණෙන තෙක් ත්‍රස්තවාදීන් මෙල්ල කරමින් ප්‍රති ප්‍රහාර දියත් කළ අතර එහිදී, ත්‍රස්තවාදී ප්‍රහාර වැළැක්වීමට අප වීරෝදාර රණවිරුවන් සමත්වූහ.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් උතුරු, නැගෙනහිර ප්‍රදේශවල ජිවත් වු සිංහල හා මුස්ලිම් ජනතාව පලවා හැර සිහින ‘ඊලාම්’ රාජ්‍ය වෙනුවෙන් කරගෙන ගිය අමානුෂීය සටනට එරෙහිව ආරක්‍ෂක හමුදාවන් විසින් දියත් කරන ලද මෙම මෙහෙයුම යුද ඉතිහාසයේ නොමැකෙන සන්ධිස්ථානයක් සනිටුහන් විය.