Header

Sri Lanka Army

Defender of the Nation

23rd July 2021 11:32:00 Hours

නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍යමය දායකත්වය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් චුල්ලිපුරම් ප්‍රදේශයේ පවුලකට නව නිවසක් ඉදිකරදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍යමය දායකත්වය ඇතිව යාපනය අර්ධද්වීපයේ වෙසෙන අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරන ලදී. එම නව නිවස පසුගිය අඟහරුවාදා (13) දින හින්දු චාරිත්‍රානුකූලව පැවති උත්සවයකදී නිවාසලාභියා වන කදිරන් ගෝවින්දසාමි මහතා වෙත භාරදෙන ලදී.

මෙම නව නිවස ප්‍රතිලාභීන් වෙත භාරදීමේ උත්සවය ඉකුත් අඟහරුවාදා (13) දින පැවත්වුණු අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහභාගී වූහ. එහිදි එතුමන්ගේ සුරතින් නව නිවස විවෘත කරන ලදී.

නිවසේ ඉදිකිරීම් කටයුතු 513 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරුණු අතර ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වය 16 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ලබාදුන්හ.

නව නිවස ප්‍රතිලාභින් වෙත භාරදීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් විසින් එම නව නිවස සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ වියළි සලාක පාර්සල් ද ප්‍රතිලාභීන් වෙත පරිත්‍යාග කරන ලදී.

මෙම නව නිවස ප්‍රතිලාභින් වෙත භාරදීමේ උත්සවයට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්, නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජිතයින්, 51 වන බලසේනාවේ බලසේනාධිපති, 511, 512, 513 සහ 515 වන බලසේනාවල බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය නිලධාරින් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සහභාගී වූහ.