21st July 2021 10:21:46 Hours
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් තිලක් හංගිලිපොල ඉකුත් අඟහරුවාදා (20) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය. එහිදි, මේජර් ජෙනරල් තිලක් හංගිලිපොල දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ අනගි සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් පාබල හමුදා මේජර් ජෙනරල් තිලක් හංගිලිපොලගේ වසර 35 ක යුද්ධ හමුදා දිවිය තුළ උසස් තනතුරු රැසක් හොබවා ඇත.
මෙම සුහද හමුව අතරතුර, මේජර් ජෙනරල් තිලක් හංගිලිපොල යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය සහ කැපවීම මෙන්ම අධ්‍යක්‍ෂ ජෙනරල් පාබල හමුදා ලෙස විවිධ පාබල පුහුණු වැඩසටහන් දියත් කරමින් සිය ධූර කාලය තුළ සිදුකළ කාර්යභාරය ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ පැසසුමට ලක්විය.
එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකළ මානූෂීය මෙහෙයුම් වෙනුවෙන් මේජර් ජෙනරල් තිලක් හංගිලිපොල දැක්වූ දායකත්වය පිළිබඳව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම අවස්ථාවේදී සිහිපත් කළේය. තවද විශ්‍රාම ගැනීමෙන් පසු මේජර් ජෙනරල් තිලක් හංගිලිපොලගේ අනාගත සැලසුම් හා බලාපොරොත්තු පිලිබඳ විමසූ යුද්ධ හමුදාධිපතිතුමන් එය සාර්ථක කර ගැනීම සඳහා සිය සුභපැතුම් පිරිනැමුවේය.
මේජර් ජෙනරල් තිලක් හංගිලිපොල අධ්‍යක්‍ෂ ජෙනරල් පාබල හමුදා ලෙස රාජකාරි භාරගැනීමට පෙර 14 වන සේනාංකයේ සේනාංකාධිපති, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, 222 වන බලසේනාවේ බලසේනාධිපති, 543 වන බලසේනාවේ බලසේනාධිපති, 122 වන බලසේනාවේ බලසේනාධිපති, ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති, 3 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මෙන්ම යුද්ධ හමුදාවේ ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2009 මැයි මාසයට පෙර එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම් සඳහා ක්‍රියාකාරීව සිය දායකත්වය දක්වන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් පිරිනැමු සුභපැතුම් වෙනුවෙන් ස්තූතිය පුදකළ විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් තිලක් හංගිලිපොල සිය රාජකාරි කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ලැබුණු දිරිගැන්වීම් වෙනුවෙන් කෘතඥතාවය පිරිනැමුවේය. තවද මෙම සුහද හමුව අවසානයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සේවය ඇගයීමක් ලෙස විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.