Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2021 19:00:42 Hours

නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා අද (20) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.  

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත 2021 ජුලි මස 17 දින අතිගරු ජනාධිපතිතුමන් විසින් නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පත්කරන ලදී.  

මෙම උත්සව අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පළමුව ආගමික වතාවත්වල නිරත වූයේය. ඉන් අනතුරුව, හුණුපිටිය ගංගාරමයේ විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.

මෙම අවස්ථාවට වැඩමවා වදාළ මහා සංඝරත්නය වෙත පිරිකර පූජා කිරීමෙන් අනතුරුව උත්සව කටයුතු අවසන් විය. නව ධූරයේ රාජකාරි භාරගැනීම වෙනුවෙන් මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා වෙත සුභපැතුම් පිරිනැමීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිපදෙනෙක් මෙම අවස්ථාවට සහභාගී වූහ.  

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි භාරගැනීමට පෙර මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස රාජකාරි කළේය.

මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:  

මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා 2021 ජනවාරි මස 19 සිට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත්වන තුරු 25 වන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස රාජකාරී සිදු කරන ලදී.

තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 51 වන සේනාංකයේ සේනාංකාධිපති, 59 වන සේනාංකයේ සේනාංකාධිපති, 513 වන බලසේනාවේ බලසේනාධිපති සහ144 වන බලසේනාවේ බලසේනාධිපති වශයෙන්ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ වගකීම දරන නිලධාරි ඇතුළු තනතුරු රැසක් හොබවා ඇත. තවද මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකයේ වත්මන් කර්නල් සේනාවිධයක ධූරයද හොබවනු ලබයි.  

රටට සාමය උදාකරදුන් මානූෂීය මෙහෙයුමේදී ක්‍රියාශීලී හා දක්‍ෂ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු 593 සහ 631 වන බලසේනාවන්වල බලසේනාධිපති ධූරය දරණ කාලය තුළ එල්.ටී.ටී.ඊ ප්‍රධාන බලකොටු සහ මර්මස්ථාන වූ මාන්කුලම් නගරය, ඕලුමඩු, අම්පකාමම් සහ උදයර්කට්ටුකුලම් යන ප්‍රදේශ ත්‍රස්ත ග්‍රහනයෙන් මුදවා ගැනීම සඳහා සහ එල්.ටී.ටී.ඊ සබ්මැරීන් සංකීර්ණය විනාශ කිරීම සඳහා අණදෙමින් සුවිශාල දායකත්වයක් දක්වන ලදී. තවද 2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුම් කාලසීමාව තුළ 533 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි ඉටුකරමින් මානූෂීය මෙහෙයුම අවසන් කිරීම සඳහා පූර්ණ දායකත්වයක් මෙතුමන් විසින් දක්වන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ කීර්තිමත් යුද්ධ හමුදා ජීවිතය තුළ, 5 වන ගැමුණු හේවා බලඇණියේ කණ්ඩ භාර නිලධාරියෙකු ලෙස වඩමාරාච්චි මෙහෙයුම සඳහා සක්‍රීයව දායක වී ඇති අතර, මාතෘභූමිය කුරිරු ත්‍රස්තවාදයෙන් මුදවාගැනීම සඳහා දියත්කළ ‘බලවේගය’ සහ ‘අකුණුපහර’ මෙහෙයුම් සඳහා අනූපමේය දායකත්වයක් දක්වන ලදී. 7 වන ගැමුණු හේවා බලඇණියේ ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ පිහිටි මුහුදු කොටි කඳවුර විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද පළමු ගුවන් සංග්‍රාමික මෙහෙයුම සඳහා ද මෙතුමන් ක්‍රියාකාරීව දායක වී ඇත. යුද පිටියේ හසල දක්‍ෂතා ඇති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යාපනය නගරය මුදා ගැනීම සඳහා දියත්කළ රිවිරැස මෙහෙයුමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. 2000 වර්ෂයේදී 9 වන ගැමුණු හේවා බලඇණියේ දෙවන අණදෙන නිලධාරි ලෙස රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා අලිමංකඩ ප්‍රදේශයේ පැවති මානූෂිය මෙහෙයුම් සඳහාද සක්‍රීයව දායකත්වය දක්වන ලදී.  

තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි කොමාන්ඩෝ බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී ලෙස 2007 වර්ෂයේ කමාන්ඩෝ භටපිරිස් සමග තොප්පිගල ත්‍රස්තවාදින්ගෙන් මුදවාගැනීමේ මෙහෙයුමේ ප්‍රධානත්වය ගෙන කටයුතු කළේය. ඊට අමතරව, 593 වන පාබල බලසේනාව යටතේ එල්.ටී.ටී.ඊ බලකොටු විශාල ප්‍රමාණයක් ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා අඛණ්ඩ දායකත්වයක් දැක්වූ මෙතුමන් විසින් මුලතිව් ප්‍රදේශයේ භටපිරිස් ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගැනීමට සහ භටපිරිස්වල බලය එම ප්‍රදේශයේ තහවුරු කිරීමට මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා අනුපමේය දායකත්වයක් දක්වන ලදී.

විදේශිය පාඨමාලා රැසක් හදාරා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉන්දියාවේ Mhow හී ‘කණිෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාව’, ඉන්දියාවේ Variegate පුහුණු පාසලේ ප්‍රතිත්‍රස්ත හා වනගත සටන් පුහුණු පාඨමාලාව, ඉන්දියාවේ Mhow හි යුද්ධ හමුදා පාබල පුහුණු විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාව, ඇමරිකා එක්සත් ජනපදයේ - ‘Comprehensive Security Response to Terrorism Course’ සහ චීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ‘Strategic Training Course’ පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකර ඇත.  

ඒ හා සමානව, චීනයේ ‘Master’s Strategic Management and Military Science’ පාඨමාලාව, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයෙන් (BIDTI) ඩිප්ලෝමාව සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඩිප්ලෝමාව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වන ලද International Ports and Maritime Code පාඨමාලාව, ඇමරිකා එක්සත් ජනපදයේ ‘Comprehensive Security Response to Terrorism - Asia Pacific Centre for Security Studies’ පාඨමාලාව, ඉන්දියාවේ Diploma in Senior Defence Management පාඨමාලාව සහ කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ විධායක ඩිප්ලෝමාව ද හඳාරා ඇත.

කොළඹ 05, ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා 1986 ජුනි මස 2 වන දින කෙඩේට් නිලධාරිවරයෙකු ලෙස යුද්ධ හමුදා විද්‍යාපීඨයට ඇතුලත් වන ලදී. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව හඳාරා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි අනතුරුව පකිස්ථානයේ මැන්ගිලා නිලධාරි පුහුණු පාසලේ නිලධාරි පුහුණු පාඨමාලාව සහ පාකිස්ථානයේ ක්වේටා පාබල හා උපක්‍රම පුහුණු පාසලේ නිලධාරි අවි සහ තරුණ නිලධාරි පුහුණු පාඨමාලාව හඳාරා ඇත.

යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව වර්ෂ 1987 මැයි 18 වන දින අධිකාරියට පත්වූ හෙතෙම 4 වන ගැමුණු හේවා බලඇණිය වෙත අනුයුක්ත කරන ලදී.