Header

Sri Lanka Army

Defender of the Nation

23rd July 2021 09:00:13 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් හඳුන්වාදෙන වැඩසටහන් බලගැන්වීම සඳහා කර්නල් නිලයේ නිලධාරින්ට වැඩමුළුවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරින් සඳහා වූ එක්දින වැඩමුළුවක් පසුගිය සඳුදා (19) දින කොස්ගම පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන මූලස්ථානයේදී පැවැත්විණි. එහිදී, පාලන හා භඨකාර්ය සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් දැනුවත් කළහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද මෙම වැඩමුළුව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් වසන්ත මාදෝල සහ යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල්ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලදී.

දිවයින පුරා ස්ථානගත කර ඇති කඳවුරුවල යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විනය හා කාර්යභාරය නිසි කළමණාකරණයකින් හා කාර්යක්‍ෂමභාවයකින් යුතුව තාක්‍ෂණික හැකියාවන් යෙදවීම පිළිබඳ නියමාකාරයෙන් පෙළගැස්වීම අරමුණු කරගනිමින් මෙම වැඩමුළුව පවත්වන ලදී.

මෙම අවස්ථාවට කර්නල් නිලයේ නිලධාරින් 40 දෙනෙකු සහභාගී වූ අතර එම අවස්ථාවට Zoom වීඩියෝ සම්මන්ත්‍රණ මාධ්‍ය ඔස්සේ සහභාගී වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා “භඨකාර්ය සම්පාදනයන් සැලසුම් කිරිමේ වගකීම යුද්ධ හමුදාවේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදනය සතුව ඇති බවත් රටේ වඩාත්ම කාර්යක්ෂම හා මානව ප්‍රාග්ධනය ඔබ වන බැවින් මූල්‍ය හැසිරවීම අයථා ලෙස පරිහරණය නොකර සැබෑ කළමනාකරණ කුසලතා සමඟ අත්වැල් බැඳ ගත යුතු බව” ප්‍රකාශ කළේය.

‘ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 - 2025’ පිළිබද අදහස් දැක්වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාව තුළ වඩාත් ඉහළ මට්ටමක විනයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පිළිබද කරුණු අවධාරණය කළේය.

තවද, යමෙකු වෘත්තියේ ඉහළම පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමට නම් එය ඔබ සතු භඨකාර්ය සම්පාදන කුසලතාවය වර්ධනය කිරීම තුළින් පමණක් සිදුකර ගත හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය. එමෙන්ම සංවිධානයේ වත්කම් නිසි ලෙස කළමනාකරණය කරන්නේ කෙසේද යන්න එමගින් අධ්‍යනය කරගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ආරම්භක දේශනය පවත්වමින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල මෙම වැඩමුළුවේ දැක්ම, අරමුණු, පරමාර්ථ මෙන්ම අපේක්‍ෂිත ප්‍රතිඵලයන් සාක්‍ෂාත් කරගැනීම පිළිබඳව මෙම එක්දින වැඩමුළුවට සහභාගීවූවන් දැනුවත් කළේය.

භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්, ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.එම්.එස්. කුමාර, යුධෝපරණ සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රියන්ත වීරසිංහ, ගමන් හා පාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් හිරෝෂ වනිගසේකර සහ අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් මාලන් ද සොයිසා මෙම වැඩසටහනට සම්පත්දායකයින් ලෙස සහභාගී වී සැසිවාරයන්ට දායකත්වය දැක්වූහ.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානය, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන මූලස්ථානය, ආරක්‍ෂක සේනා මූලස්ථානය, සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, පුහුණු අණසක, අණ හා මාණ්ඩලික විද්‍යාලය නියෝජනය කරමින් නිලධාරින් සහභාගී වූහ.