Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2021 09:10:19 Hours

ටැමිපිටියේ ඉදිකළ නව ක්ෂේත්‍ර වෙඩිපිටිය විවෘත කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ටැම්පිටිය ප්‍රදේශයේ ඉදිකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්ෂේත්‍ර වෙඩිපිටිය තුළ පසුගිය සිකුරාදා (16) දින ක්ෂේත්‍ර වෙඩිතැබීම් වාරයන් ආරම්භ කරන ලදී.

මෙම ක්ෂේත්‍ර වෙඩිපිටිය ඉදිකිරීමේ කටයුතු යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දුගේ උපදෙස් මත සිදුකරනු ලැබිණි. වෙඩිපිටියේ සැකැස්ම පිළිබඳ සියැසින් දැකබලාගැනීම සඳහා මෙම අවස්ථාවට මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු සමඟ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 24 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මැදිහත්වීම මතසිවිල් පරිපාලකයින් ඇතුළු බලධාරින් කිහිපදෙනෙකු සමඟ විවිධ මට්ටමින් පැවති සාකච්ඡා වාර කිහිපයක ප්‍රතිඵලයක් ලෙස‍වෙඩිපිටිය සඳහා ඉඩම් පවරාගැනීමේ කාර්යයන් වේගවත් කරමින් මෙම ක්ෂේත්‍ර වෙඩිපිටිය ඉදිකිරීමේ කටයුතු සීඝ්‍රයෙන් නිමකරන ලදී.

මෙම ක්ෂේත්‍ර වෙඩිපිටිය ස්ථාපිත කිරීමේදි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එම ක්ෂේත්‍ර වෙඩිපිටියේ මාර්ග පද්ධතිය, සංඥා පුවරු ස්ථානගත කිරීම, ගුවන්විදුලි සන්නිවේදන ජාල ස්ථාපිත කිරීම, වෙඩිපිටිය ස්ථාපිත ප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන්ගේ ආරක්‍ෂාව, සතුන් සහ පක්‍ෂීන්ගේ ආරක්‍ෂාව යනාදී කරුණු රැසක් පිළිබඳ අවධානය යොමුකරන ලදී.

ටැම්පිටිය නව ක්ෂේත්‍ර වෙඩිපිටිය ස්ථාපිත කිරීමෙන් පසුව මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සහ කාලතුවක්කු පුහුණු පාසලේ පුහුණු වෙඩික්කරුවන් මෙම වෙඩිපිටියේදී පුහුණු වාරයන් ආරම්භ කළහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ 24 වන සේනාංකයේ භටපිරිස්වල තාක්‍ෂණික දැනුම උපයෝගී කරගනිමින් ඉතා කෙටි කාලයක් තුල මෙම ක්ෂේත්‍ර වෙඩිපිටියේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී. මෙම ක්ෂේත්‍ර වෙඩිපිටියේ සමාරම්භක අවස්ථාව සඳහා මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් කල්ප සංජීව, කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමිල මුණසිංහ සහ කාලතුවක්කු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් රොෂාන් කන්නන්ගර සහභාගී වූහ.