Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2021 16:07:04 Hours

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙන් නව නිපැයුමක්

4 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සහ 5 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ශාක පත්‍ර සහ අතු කුඩාකැබලි බවට පත්කිරීම සඳහා යන්ත්‍රයක් නිෂ්පාදනය කරන ලදී.

“Agri Shredder PP1” නම් මෙම යන්ත්‍රය පසුගිය ඉරිදා (18) දින කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේ නිරතව සිටින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස්වල ප්‍රයෝජනය සඳහා යොදවන ලදී.

මෙම යන්ත්‍රය තුළින් පැයක කාලයක් තුළ ශාක පත්‍ර සහ අතු මිලි මීටර් 10 ක කැබලි මෙට්‍රික් ටොන් 3.5 ක් නිෂ්පාදනය කිරිමේ හැකියාව ඇත. යාපනය ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කළ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා “Agri Shredder PP1” යන්ත්‍රයේ නිෂ්පාදන තත්ත්වය පිළිබඳව ද අධීක්‍ෂණය කළේය.

වෙළඳපල තුළ ඇති මෙවැනි යන්ත්‍රයක සාපේක්‍ෂ වටිනාකම රු. 750,000.00 කට අධික වන අතර ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සහ ඉංජිනේරු සේවා බලකායේ තාක්‍ෂණික විශේෂඥයින් විසින් නිෂ්පාදනය කළ මෙම යන්ත්‍රය සඳහා වැය වූ මුදල රු. 150,000.00 ක් පමණ වේ. මෙම යන්ත්‍රය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට අයත් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (භඨකාර්ය සම්පාදන) ලුතිතන් කර්නල් පී.ඩී.එල්.ඒ.සී. සිරිසේන විසින් නිෂ්පාදනය කරන ලදි.

මෙම යන්ත්‍රය හඳුන්වාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහභාගී වූ අතර, හෙතෙම මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරි කොටස් නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ භටපිරිස් වෙත අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.  

මෙම යන්ත්‍රය හඳුන්වාදීමේ අවස්ථාවට 51, 52 සහ 55 වන සේනාංකවල සේනාංකාධිපතිවරු, ඉදිරි නඩත්තු පෙදෙස යාපනය - ආඥාපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සේවයේ නියුතු බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි ඇතුළු බලසේනාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.