Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2021 06:11:18 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නව ආ‍ඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු රාජකාරි අරඹයි

නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සඳුදා (19) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.

ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් හෙතෙම උණුසුම් අයුරින් පිළිගත්හ. ඉන් අනතුරුව, 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් නව ආරක්‍ෂක සේනා ආඥාපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මෙම අවස්ථාවට වැඩමවා වදාළ මහා සංඝරත්නය සහ අනෙකුත් පූජකවරුන් මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු වෙත ආශිර්වාද කරමින් නව ධූරයේ රාජකාරි භරගැනීම වෙනුවෙන් සුභපැතුම් එක් කළේය. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.

ඉන් අනතුරුව, භටපිරිස් ඇමතු ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සිය ඉදිරි දැක්ම පිළිබද විස්තර කිරමින් යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු භටපිරිස්වල වගකීම් සහ කාර්යභාරයන් පිළිබඳව ඔවුන් දැනුවත් කළේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51, 52 සහ 55 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගී වූහ.