Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2021 10:45:13 Hours

551 වන බලසේනාවේ භටපිරිස් කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රමවේද පිළිබඳ මහජනතාව දැනුවත් කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 551 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සිකුරාදා (16) දින කොවිඩ් - 19 වෛරසය මහජනතාව අතර පැතිරීම වැළැක්වීමේ අරමුණින් නෙල්ලිඅඩි නගරය විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් සහ වෛරසය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබූහ.

මෙම වැඩසටහන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධනගේ අධීක්‍ෂණය යටතේ 551 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු භටපිරිස්වල සහයෝගය ඇතිව දියත් කරන ලදී.

ඒ අනුව, 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 16 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් නෙල්ලිඅඩි නගරයේ බස් නැවතුම්පොල, වෙළඳ සංකීර්ණය, බැංකු ශාඛා, වෙළඳසැල්, ත්‍රි රෝද රථ නැවතුම්පොලවල් ඇතුලු ජනාකීර්ණ ප්‍රදේශ පිරිසිදු කර විෂබීජහරණය කළහ. ඊට අමතරව, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද එම භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන් පේදුරු තුඩුව සහ නෙල්ලිඅඩි ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සහ නගර සභාව සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක කරන ලදී.