Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2021 18:06:36 Hours

කිලිනොච්චි භටපිරිස් කාබනික පොහොර ටොන් 30 ක් නිෂ්පාදනය කිරීමට සූදානම්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගැන්වීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සහයෝගය දක්වමින් ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ අධීක්‍ෂණය යටතේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

ඒ අනුව, යුද්ධ හමුදා භටපිරිස් කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා භාවිතා කිරීමට කාබනික පොහොර නිෂ්පාදනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් පුනරින්, ජයපුරම් ප්‍රදේශයේ ස්ථාපිත 663 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රය තුළ කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලදී.

මෙම කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයේ සමාරම්භක උත්සවය 2021 ජුලි මස 16 දින පැවත්විණි. එහිදී අදහස් දක්වමින් ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මසකට කොම්පොස්ට් පොහොර ටොන් 30 ක් නිෂ්පාදනය කිරීමට අපේක්‍ෂා කරන බව ප්‍රකාශ කළේය. උත්සවය අතරතුර, හෙතෙම කොම්පොස්ට් නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්‍ෂණය කළ අතර යුද්ධ හමුදා භටපිරිස් වෙත අවශ්‍ය උපදෙස් ද ලබාදුන්නේය.

මෙම මධ්‍යස්ථානය 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක සහ 663 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂන් ලියනගමගේ අධීක්‍ෂණය යටතේ ස්ථාපිත කළ අතර ඒ සඳහා විශාල භටපිරිස් ප්‍රමාණයක් සිය සහයෝගය දක්වන ලදී.

මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස කාබනික පොහොර භාවිතයේ ඇති වාසි පිළිබඳව මහජනතාවගේ දැනුවත්භාවය වැඩිදියුණු කිරීමට අපේක්‍ෂා කරයි. තවද, මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියෙන් අනතුරුව කිලිනොච්චි ප්‍රදේශයේ කාබනික පොහොර අවශ්‍යතා සපුරාලීමට යුද්ධ හමුදාව අපේක්‍ෂා කරන අතර දේශීය ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව අවශ්‍ය තාක්‍ෂණික සහයෝගය ලබාදීමට ද අපේක්‍ෂා කරයි.

මෙම සමාරම්භක උත්සව අවස්ථාවට 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක, අණදෙන නිලධාරින් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී වූහ. මෙම උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වනු ලැබිණි.