18th July 2021 14:00:09 Hours
අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි විසින් දියත් කරනු ලබන ව්‍යාපෘතිය යටතේ භටපිරිස් විසින් කිලිනොච්චි, වඩ්ඩකච්චි, පෙරියකුලම් ප්‍රදේශයේ ජීවත්වන ශිවසාමි මුත්තු මහත්මියගේ පවුලේ සාමාජිකයින් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත අවශ්‍යතා සහිත පවුල්වල ජීවන තත්ත්වය නඟාසිටුවීමත්, සංහිඳියාව සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථාන මඟින් නිවාස අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවති. එම නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබති.
වඩ්ඩක්කච්චි ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ මෙම නව නිවස ප්‍රතිලාභීන් වෙත පවරාදීම පසුගිය අඟහරුවාදා (13) දින සිදුකෙරිණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහභාගී වූ අතර එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නව නිවස ප්‍රතිලාභින් වෙත භාරදෙනු ලැබීය. මෙම නව නිවස ඉදිකිරීම සඳහා අනුග්‍රාහක භවතුන් කිහිපදෙනෙකු විසින් අමුද්‍රව්‍ය සහ මූල්‍යමය දායකත්වය සපයනු ලැබූහ.
නව නිවස ප්‍රතිලාභින් වෙත භාරදීමේ උත්සවයේදී එම ප්‍රතිලාභීන් වෙත ගෘහ භාණ්ඩ, වියළි සලාක පාර්සල් සහ නැවුම් එළවළු ද පරිත්‍යාග කරන ලදී. 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධනගේ සහ 572 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාලගේ මඟපෙන්වීම යටතේ මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය තාක්‍ෂණික, ඉංජිනේරු සහ ශ්‍රම දායකත්වය 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සපයනු ලැබූහ.
එම අවස්ථාවේදී මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඉදිකිරීම් කුසලතාවය අගය කළ අතර අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා ඔවුන් දරණ ප්‍රයත්නය වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කළේය.
මෙම අවස්ථාවට 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.