Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2021 13:00:09 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නව සේනාවිධායක සිය ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 35 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් නලින්ද නියන්ගොඩ පසුගිය සිකුරාදා (16) දින හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයකදී සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.

නව ධූරයේ රාජකාරී ආරම්භ කිරීමට ප්‍රථමයෙන් බ්‍රිගේඩියර් නලින්ද නියන්ගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ඇති රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දක්වා සිය ගෞරවාචාරය ඔවුන් වෙනුවෙන් පුද කළේය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින්ගෙන් සමන්විත ඛණ්ඩ හතරක් නව සේනාවිධායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ. නව සේනාවිධායක වෙනුවෙන් පැවති සම්මාන පෙළපාලිය සඳහා ගජබා රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් එස්.ඩී.කේ.ඩබ්ලිව්.එම්.එම්.අයි. වැලිවිට අණදෙනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දැක්ම හා මෙහෙවරට අනුකූලව කටයුතු කිරීම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ‘සේවයෙන් නායකත්වය’ යන ආදර්ශ පාඨය සාක්‍ෂාත් කරගැනීම සඳහා කෙඩෙට් නිලධාරින්ගේ ගෞරවාන්විත සේවය වැදගත් වන බව බ්‍රිගේඩියර් නලින්ද නියන්ගොඩ සරඹ භූමියේදී සිය ප්‍රථම දේශනය පවත්වමින් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ බ්‍රිගේඩියර් නලින්ද නියන්ගොඩ සිය කාර්යාලයේදී රාජකාරි කටයුතු භාරගත්තේය. පසුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නියෝජ්‍ය සේනාවිධායක විසින් නව සේනාවිධායක වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ නිල ලාංඡනය පැළඳවූයේය.

අනතුරුව, නව සේනාවිධායක ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ හිටපු සේනාවිධායක ගේ ඡායාරූපයක් නිරාවරණය කරමින් සිය කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

අනතුරුව, බ්‍රිගේඩියර් නලින්ද නියන්ගොඩ සියලු නිල තේ පැන් සංග්‍රහයකට එක්වූයේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නියෝජ්‍ය සේනාවිධායක, අංශ ප්‍රධානින්, එහි සේවයේ නියුතු අනෙකුත් නිලධාරින්, කොමිෂන් නොලත් නිලධාරින් මෙන්ම සිවිල් කතිකාචාර්යවරුන් කිහිපදෙනෙක් සහ කෙඩෙට් නිලධාරින් සහභාගී වූහ.