Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2021 18:45:23 Hours

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පත්කෙරේ

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහයුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශයෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ අනුමැතියෙන් මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා2021 ජූලි මස 17 වන දින සිට බලපැවැත්වෙන පරිදි 58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කරන ලදී.  

මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා 2021 ජනවාරි මස 19 සිට මේ දක්වා 25 වන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස රාජකාරී සිදු කරන ලදී. තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 51 වන සේනාංකයේ සේනාංකාධිපති, 59 වන සේනාංකයේ සේනාංකාධිපති, 513 වන බලසේනාවේ බලසේනාධිපති, 144 වන බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ වගකීම දරන නිලධාරියා ලෙස සහ තවත් තනතුරු රැසක් හොබවා ඇත. තවද මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකයේ වත්මන් කර්නල් සේනාවිධයක ධූරයද හොබවන ලදී.

රටට සාමය උදාකරදුන් මානූෂීය මෙහෙයුමේදී ක්‍රියාශීලී හා දක්‍ෂ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු 593 සහ 631 වන බලසේනාවන්වල බලසේනාධිපති ධූරය දරණ කාලය තුළ එල්.ටී.ටී.ඊ ප්‍රධාන බලකොටු සහ මර්මස්ථාන වූ මාන්කුලම් නගරය, ඕලුමඩු, අම්පකාමම් සහ උදයර්කට්ටුකුලම් යන ප්‍රදේශ ත්‍රස්ත ග්‍රහනයෙන් මුදවා ගැනීම සඳහා සහ එල්.ටී.ටී.ඊ සබ්මැරීන් සංකීර්ණය විනාශ කිරීම සඳහා අණදෙමින් සුවිශාල දායකත්වයක් දක්වන ලදී. තවද 2009 මැයි මාසයේ පැවති මානුෂීය මෙහෙයුම් කාලසීමාව තුළ 533 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි ඉටුකරමින් මානූෂීය මෙහෙයුම අවසන් කිරීම සඳහා පූර්ණ දායකත්වයක් මෙතුමන් විසින් දක්වන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ කීර්තිමත් යුද්ධ හමුදා ජීවිතය තුළ, 5 වන ගැමුණු හේවා බලඇණියේ කණ්ඩ භාර නිලධාරියෙකු ලෙස ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති වඩමාරාච්චි මෙහෙයුම සඳහා සක්‍රීයව දායක වී ඇති අතර, මාතෘ භූමිය කුරිරු ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීම සඳහා ‘බලවේගය’ සහ ‘අකුණුපහර’ මෙහෙයුම් සඳහා අනූපමේය දායකත්වයක් දක්වන ලදී. 7 වන ගැමුණු හේවා බලඇණියේ ඛණ්ඩ භාර නිලධාරියෙකු ලෙස මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ පිහිටි මුහුදු කොටි කඳවුර විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද පළමු ගුවන් සංග්‍රාමික මෙහෙයුම සඳහා ද මෙතුමන් ක්‍රියාකාරීව දායක වී ඇත. යුද පිටියේ හසල දක්‍ෂතා ඇති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යාපනය නගරය මුදා ගැනීම සඳහා දියත් කළ රිවිරැස මෙහෙයුමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. 2000 වර්ෂයේදී 9 වන ගැමුණු හේවා බලඇණියේ දෙවන අණදෙන නිලධාරි ලෙස රාජකාරි ආරම්භ කළමේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා අලිමංකඩ ප්‍රදේශයේ පැවති මානූෂිය මෙහෙයුම් සඳහාද සක්‍රීයව දායකත්වය දක්වන ලදී.

තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 7 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී ලෙස 2007 වර්ෂයේ කමාන්ඩෝ භටපිරිස් සමග තොප්පිගල ත්‍රස්තවාදින්ගෙන් මුදවා ගැනීමේ මෙහෙයුමේ ප්‍රධානත්වය ගෙන කටයුතු කළේය. ඊට අමතරව, 593 වන පාබල බලසේනාව යටතේ එල්.ටී.ටී.ඊ බලකොටු විශාල ප්‍රමාණයක් ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා අඛණ්ඩ දායකත්වයක් ලබාදී ඇත.

විදේශිය පාඨමාලා රැසක් හදාරා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉන්දියාවේ Mhow හී ‘කණිෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාව’, ඉන්දියාවේ Variegate පුහුණු පාසලේ ප්‍රතිත්‍රස්ත හා වනගත සටන් පුහුණු පාඨමාලාව, ඉන්දියාවේ Mhow හි යුද්ධ හමුදා පාබල පුහුණු විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාව, ඇමරිකා එක්සත් ජනපදයේ - ‘Comprehensive Security Response to Terrorism Course’ සහ චීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ‘Strategic Training Course’ පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකර ඇත.

ඒ හා සමානව, චීනයේ ‘Master’s Strategic Management and Military Science’ පාඨමාලාව, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයෙන් (BIDTI) ඩිප්ලෝමාව සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඩිප්ලෝමාව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වන ලද International Ports and Maritime Code පාඨමාලාව, ඇමරිකා එක්සත් ජනපදයේ ‘Comprehensive Security Response to Terrorism - Asia Pacific Centre for Security Studies’ පාඨමාලාව, ඉන්දියාවේ Diploma in Senior Defence Management පාඨමාලාව සහ කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ විධායක ඩිප්ලෝමාව ද හඳාරා ඇත.

කොළඹ 05, ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා 1986 ජුනි මස 2 වන දින කෙඩේට් නිලධාරීවරයෙකු ලෙස යුද්ධ හමුදා විද්‍යාපීඨයට ඇතුලත් වන ලදී. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික මුහුණුව හඳාරා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි අනතුරුව පකිස්ථානයේ මැන්ගිලා නිලධාරි පුහුණු පාසලේ නිලධාරි පුහුණු පාඨමාලාව සහ පාකිස්ථානයේ ක්වේටා පාබල හා උපක්‍රම පුහුණු පාසලේ නිලධාරි අවි සහ තරුණ නිලධාරි පුහුණු පාඨමාලාව හඳාරා ඇත. හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව වර්ෂ 1987 මැයි 18 වන දින අධිකාරියට පත්වූ එතුමන් 4 වන ගැමුණු හේවා බලඇණිය වෙත අනුයුක්ත කරන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි නොබෝ දිනකින් නව පත්වීම භාරගැනීමට නියමිතව ඇත.