15th July 2021 16:00:33 Hours
වර්ෂ 1991 ජුලි මස 13 දින අලිමංකඩ යුද්ධ හමුදා කඳවුරේදී ත්‍රස්තවාදීන්ගෙන් තම සහෝදර හමුදා සෙබළුන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා කොටි ත්‍රස්තවාදින්ගේ මරාගෙන මැරෙන බුල්ඩෝසරයට පැන බෝම්බයක් පුපුරවා හරිමින් තම ජිවිතය මාතෘභූමිය වෙනුවෙන් පුජා කළ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් හසලක ගාමිණී කුලරත්න අභීත රණවිරුවාගේ 30 වන ගුණානුස්මරණ උත්සවය අලිමංකඩ හසලක ගාමිණී ස්මාරකය අභියස දී ඉකුත් බදාදා (14) දින අභිමානවත් අයුරින් පැවැත්විණි.
මෙම සැමරුම් උත්සවය 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක ගේ සහ 662 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමින්ද ලියනගේ ලබාදුන් උපදෙස් මත 662 වන බලසේනාව විසින් සංවිධානය කරන ලදී.
ආගමික වැඩසටහන්වලින් අනතුරුව පැවැති සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහභාගී විය. එහිදි රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවා පිළිබඳ මතකයන් සිහිපත් කරමින් හසලක ගාමිණී විරුවාගේ පිළිරුව අභියස සදාතණික පහන ආලෝකමත් කරමින් පුෂ්පෝපහාර පුද කරනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර හසලක ගාමිණි වීරෝදාර රණවිරුවා අයත් රෙජිමේන්තුවම නියෝජනය කිරීම ද විශේෂත්වයකි.
6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් ගාමිණී කුලරත්න එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් පුපුරන ද්‍රව්‍ය රැගත් බුල්ඩෝසරයක් අලිමංකඩ යුද්ධ හමුදා කඳවුරට ඇතුලු කිරීමට වෑයම්කරන අවස්ථාවේ එම ප්‍රහාරය වැළැක්වීම සඳහා නිර්භීතව ඉදිරිපත්වී බුල්ඩෝසරයට පැන ඔහු අත තිබු අත් බෝම්බ පුපුරවා ගනිමින් තම ජීවිතය රට වෙනුවෙන් පුජා කළේය. එම වීර ක්‍රියාව නිමිත්තෙන් කෝප්‍රල් ගාමිණී කුලරත්න, හමුදා සාමාජිකයෙකු හට ලබාගත හැකි උත්තරීතරම පදක්කම වන ‘පරම වීර විභූෂණ’ (PWV) යෙන්ද පිදුම් ලැබීය.
මෙම යුද විරුවාට පුෂ්පෝපාහාර දැක්වීමේ ගුණානුස්මරණ සැමරුම් උත්සව අවස්ථාව සඳහා 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
මෙම උත්සව අවස්ථාව පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පවත්වන ලදී.